Thursday, September 26, 2013

උගුරැස්ස ගහ

අද හදිසියෙන්ම ආපු කෝල් එකට එකපාරටම මමත් ටිකක් කැලඹුනා. නංගි වේගයෙන් කථා කරලා අහනවා - අයියේ ඔයා උගුරැස්ස ගහේ අතු කැපුවද කියලා. ඉතිං පොඩ්ඩක් ඇත්නම් පවුලතුල ආවේගශීලී පොරත්වයක් පෞරෂයක් ආරෝපනය කරගන්න දිරිමත් කරන අපේ අවට වටපිටාව දන්න නිසා - නංගිගේ ආවේගශීලි ඇමතුම මම සරලවම නොසලකා හැරියේ - පිස්සුද ඕයි !!! කියලා. ඉතිං ටිකක් නිවෙන්න ඇරලා මම විපරම් කරල බැලුවා මොකක්ද කියලා. කතාව ඇත්ත. සිලි ලංකා (Silly Lanka) ප්‍රජාතාත්ත්‍රවාදී ජනරජයේ විදුලි බල දෙපාර්තුමේන්තුවට අනුයුක්ත උසස් වැටුප් ලබන පුහුණු කම්කරුවෝ ටිකක් විදුලි කම්බි අවදානම් ගස් සුද්ධ කරන්න ආපු ගමන් තක්කඩි වැඩක් කරලා. මුන්ගේ කම්බි තියෙන්නේ ඇත්තටම අපේ ගෙදරට ගොඩක් ඈතින් වුනත් - ඒ කම්බි ආසන්නයට ලඟාවීමට වත්ත ඇතුලින්ම වැටිච්ච අඩි පාර වැටිලා තියෙන්නේ - ලඟදි පීදුන උගුරස්ස ගහ අසලින්. මේ දවස්වල ගෙඩි පිරිච්ච උගුරැස්ස ගහ අපේ ගමේ පොඩිවුන්ටත් ලේන් දඩු ලේන් දෙමලිචි පණු කුරුල් ආදී නොයේක් සතුන්ටත් ගොඩක් සතුට ගෙනෙන තැනක්. මේ අසබඩම තමයි මම ලඟදි Rain Water Harvest කරන්න කියල හදපු තරමක් විශාල පොකුණ තියෙන්නෙත්. ජලමූලාශ්‍රයකුත් ගහ ඉස්මත්තට සෙට් වෙච්ච නිසා - ගහත් සතුටට මදි නොකියන්න ගෙඩි හදලා. ඉතිං මේ විදුලබල තක්කඩි, ගෙඩි පිරුණු අතු වලින් ඉදුනු ගෙඩි කඩාගන්න කම්මැලි කමට කරලා තියෙන්නේ මහා බලු වැඩක්. ගෙඩි කඩං කනවා වෙනුවට අතු සුද්ධ කරන කෙකි වලින් අතු කපලා දාලා ඉදුනු ගෙඩි 50 ක් ගන්න අමු ගෙඩි 1000ක් විතර තිබ්බ අතු කපලා, බිම දාලා. මුන් කරපු අපරාදේ තරම මුන්ට තේරෙන්නේ නැහැ. මොකද මුන් මේ ගැන සංවේදී නැහැ. හැබැයි හැන්දෑවක හීනියට ශොට් එකක් දාලා කථා කලොත් මුං විතර සංවේදි - මුං විතර බණ දහම් දන්න එවුන් බුදුන් උපන් කාලෙකවත් ඉදල නැහැ.

මේ ගෙඩි ඉදුනාම කන්න මුලු ගමේම පොඩි බට්ටෝ බට්ටියෝ තරඟයට වගේ බලන් ඉන්නේ. ගිය සෙනසුරාදා ගෙදර ගිය ගමන් මම ගෙඩි ටිකක් කඩන් පොඩි උන් ටිකකට බෙදලා දීලා - වෙලාව නැති නිසා අනික් ගෙවල් වලට යන්න බැරි වුනා. අම්මත් ඒ අතර ප්ලෑනක් ගහලා උගුරැස්ස ගහ බදු දෙන්න. දඩු ලේන්නු පවුලයි - ගිරව් සෙට් එකයි අපි ගහ ලඟට එනවටත් තරහයි. පණු කුරුලු සෙට් එකට ලේන්නුන්ටනම් බිම වැටුන ගෙඩි ටිකත් ඇති. බලල් රාළ ගහ වටේ කැරකෙන්නේ - උගුරැස්ස කන ලේනෙක්ට ගේමක් දෙන්න බලාගෙන. නංගි යන තැනක යන්නේ උගුරැස්ස ගෙඩි ටිකක් මල්ලට දාගෙන. නීල් අයියගේ ගහේ මේ පාර උගුරැස්ස වරලා හින්දා නීල් අයියත් හරක් බදින්න යන ගමන් උගුරැස්ස ගහ ලඟට visit එකක් දාලා යන්නේ. ඇයි මගේ මලයා - මට මාස කීපයකට කලින් රස්සාව හම්බවුනා දෙමටගොඩ. මෙන්න බොලේ Virtusa එකට එහා පැත්තේ වහු පැටියෙක් කෑ ගහනවා !!!. ඇත්තටම යකෝ කොළඹ කොහෙද හරක් ?. මේකා වලකටවත් වැටිලද මගුලක යනගමන් ? කෝකටත් සද්දෙ එන ඉසව්වට තනියම කිට්ටු කරල බැලුවා - පිස්සු හැදෙනවා, එතන එහා පැත්තේ තමයි දෙමටගොඩ ප්‍රසිද්ධ ලංකාවේ විශාලම හරක් මස් මඩුව. වැඩිපුරම හිටියේ ගැබ්බර දෙන්නු හා පැටව්. එක පිරිමි වහු පැටියෙක් මාව දැක්කා විතරයි, දුවගෙන ඇවිත් අත් දෙක ලෙවකන්න ගත්තා - කඹේ බැදලා නිසා ලඟට එන්න බැහැ. අභය දෙන හැමොම එළ දෙන්නු ගත්තට - කවුරුත් ගොන්නු ගන්නේ නෑ නේ. පිරිමි ස‍තෙක්ට මස් මඩුවකින් අභයදානය ලැබෙන්නෙත් කලාතුරකින්. ඉතිං ඒ ගමන්ම කලේ ගෙවන්න තිබ්බ හිර වෙච්ච ණය ඔක්කොම මොහොතකට අමතක කරලා මස් බරට ලොකු මුදලක් දීලා මායා බොංචි ඇට ගත්තු මොඩ කොලුව වගේ වස්සත් ලොරියක දාන් ගෙදර එක්කන් ගිය එක. අම්මලාටත් පුදුමයි. බැන්නේත් නැහැ එදානම් හැබැයි. කොල්ලට එතකොට මාස 4යි - බඩේ මිම්මෙන්. මේයාට මම කියන්නේ මල්ලි කියලා. මල්ලිත් හරිම ආසයි උගුරැස්ස කන්න. සෙනසුරාදා මම ගෙදර ගිය ගමන් උගුරැස්ස අතින් තලලා මල්ලිටත් දුන්නේ නහය විදින්න තිබ්බ නිසා හිතවත් වෙන්මයි. නීල් අයියායි මායි උදේම මල්ලිගේ නහවිද්දේ මල්ලි උගුරැස්ස කන ගමන්. චුක් ගානකෙට නීල් අයියා නහ විදලත් ඉවරයි. මල්ලිට උගුරැස්ස රහට මෙලෝ දෙයක් ගානක් නෑ. ගොනා කියන්නේ නිකන් නෙමෙයිනේ කියලා හිතුනෙත් මේ උගුරැස්සම කන ගමන් තමයි.

ඉතිං උගුරැස්ස ගහට ලොකු කතාවක් තියෙනවා. මම කුඩා කාලේ උගුරැස්ස කන්න හරිම ආසයි. ඒ කාලේ කඩෙන් අරන් කන සිරිතකුත් නැහැ - කඩේ තිබ්බත් ගන්න සල්ලි නැහැ. ගමේ ගෙදරකින් තමයි ටිකක් ඉල්ලගෙන රහ බලන්නේ. මම හත වසරෙදි හැම තැනම හෙව්වා උගුරැස්ස පැල - අපිටත් ගහක් හිටවාගන්න. හොයලා හොයලා - අන්තිමට හම්බවුනා. හම්බවුනේ පොඩිරත්න සර්ගෙන්. පොඩිරත්න සර් විවාහකයි - හැබැයි දරුවෝ නැහැ. පොඩිරත්න සර්ගේ මිස් හරිම ජනප්‍රිය, වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පරාර්ථකාමී ඉතාම යහපත් ඉතාම දක්ෂ ඉතාම කැපවීමෙන් උගන්නන ගුරුවරියක්. ගුරු කම වෙන එකක්නේ. යහපත්කම කන්නද. වැඩකාරයෙක් නම් පොඩ්ක් හරි බක්තියක් දෙන්න තිබ්බා. අපේ ගමේත් Silly ලංකාවේත් වැඩකාරයෝ කියන්නේ තමුන් දහඩිය මහන්සියෙන් අසීමාන්තිකව වෙහෙසිලා යමක් කමක් හරි හම්බ කරගන්න එවුන් නෙමෙයි. පලාත් සභාවක ප්‍රාදේශීය සභාවකට රිංගලා, o/L වත් පාස් නැතුව, කසිප්පු තිප්පොලවල් වලින්, ගමේ කෙලවරේ කලු ගලෙන් - ගඟේ ගහගෙන යන වැලි ටිකෙන්, චූටි මැර පාට් එකක් - සෙට් එකක් එක්ක ගිහින් දාලා, තක්කඩි කන් කරලා, බොරුවට විබාග පාස්කලරලා හොර degree අරන් ගොන් ආතල් එකක් දෙන එවුන්නේ. ඒ ගොල්ලන්ට තමයි කවුරු මොනව කිව්වත් අපි රැස්පොට් එක ඇත්තටම දෙන්නේ. ගරු කරන්නේ. උන්ට ඉහලින් බයට හරි වචනයක් නොකියා ඉන්නවා. අපේ ගමේ සමහර එවුන්ට ඇත්තටම තිබ්බ එක ලොකුම ප්‍රශ්නයක් වුනේ මේ ජොඩුවට දරුවෝ නැති එක. හැබැයි - චිහ් !!! වීරෝදාර සිංහල අපි එහෙම කැත කතා මූණට කියන්නේ නෑ නේ. එහෙම නොකියා ඉතිං මිනිස්සු හැම තැනම කියනවා ඔය ජොඩුව ඔච්චර මහන්සි වෙන්නේ කාට හම්බ කරන්නද කියලා. මේ ජොඩුවට සමහරු නැති තැන ගරහනවා මම හොදටම දැකලා තියෙනවා. මේ ගැමියෝ අතර අපේ පවුලේ අයද නොහිටියා කියන්න බැහැ.පොඩිරත්න සර් හරිම මහන්සියෙන් කැපවීමෙන් ගොවිතැන් බත් කරලා මුදල් උපයනවා. සර්ගේ ගම්මිරිස් කොසෙල් වතු දැක්කත් ඇති. හැබැයි වාසනාවන්ත නමුත් උත්සාහය අඩු, තමුන්ගේ වත්තේවත් අලයක් හිටවගන්න කම්මැලි ගම්මු ඒ මනුස්සයාගේ උත්සාහයට ඊරිසියයි. ඒක නොකියන අපේ ගමේ අය කියන්නේ - ඒ මනුස්සයට දරුවෝ නැත්තේ කුණු කම නිසාලු. ඒ මනුස්සායා ඉස්සර පෙර ආත්මවල ජරා වැඩ කරලලු. ඉතිං අපි අපේ බලුකම ඉරිසියාව වහගන්න, තමුන්ගේ හර්ධ සාක්ෂිය අමන විදියට රවට්ටගන්න - බුදු හාමුදුරුවොයි, බණ දහමුයි, ඔක්කොමත් දැන් සෙට් කරන්. මම දන්න කාලේක, මම දැකපු කිසිතැනක මේ සර් එහෙම කාටවත් කරදරයක් අකරතැබ්බයක් කළේ නැහැ. හැබැයි ටිකක් ආගම දහමට නැඹුරු වෙලා වැඩ කලා - දරුවෝ නැති දුක තුනී වෙන්න මගේ හිතේ. ඒ අතර හීනියට අඩියකුත් දෙකකුත් ගැහුවා. නෑදෑ දරුවනුත් ගෙදර තියන් කන්න බොන්න දුන්නා - පාසැල් යැව්වා. ඒ ළමයිටත් ත්‍යාගශීලී උදවිය ටිකක් වෙනස් විදියට සැලකුවේ මගේ හිතේ. ඉතිං උනුත් හැසුරුනේ වෙනස් විදියටද මන්ද. දුප්පත් ළමයි - නැත්නම් අසරණ ළමයි කියලා ටිකක් තැනක් දෙන්න අදි මදි ගතියක් මම අපේ මහා ධනවත් හරිහමන් රස්සාවකුත් නැති සමහර සිටුවර ගම්මුන් අතර දැක්කා. ඉතිං අපේ අම්මලා තාත්තලාටත් - සමහර වෙලාවට පොඩිරත්න සර් කියන්නේ විශ්වාස කරන්න බැරි, බොරු උපාසකකම් කියන මහා කපටි මනුස්සයෙක්. මේ මනුස්සයා ගැන කියන කථා මොනවා වුනත් - මම සර් දුන්න උගුරැස්ස පැලේ හිටවලා නිතරම පෑවිලි වලට වතුර දදා රැක ගත්තේ උගුරැස්ස කන්න තිබ්බ කෑදරකමටමයි.

ඉතිං ගස් එකපාර හැදෙන්නේ නෑ නේ. ගස් හැදෙන්න කල් යනවා. කල් යන්න යන්න අම්මායි තාත්තයි මට බනිනවා - අහවල් ගුරාගේ සූත්තරේට අහු වෙලා, ගෙඩි හැදෙන්නේ නැති බොරු උගුරැස්ස ගස් උස්සන් ගෙනත් කියලා. මම ටෙස්ට් එකක් කලා. ඇත්ත උගුරැස්ස ගහක කොල ගෙනත් මගේ ගහේ කොළ එක්ක පොඩි කරලා සුවඳ බැලුවා. කොල කඩලා පත්‍ර නාරටි බෙදෙන විදිය බැලුවා. අපේ ගම්වල ගොක්කොළ පණ්ඩිතයන්ට මොන Botany ද.දැන් මට හොදටම විශ්වාසයි මේක උගුරැස්ස කියලා. තවත් සමහරු කිව්වා මේ ගහ - කටු ලොවි කියලා. මම හොදටම රණ්ඩුවුනා මේ ගහ නොකපා ඉතිරි කරගන්න - මේ උගුරැස්ස කියලා. වෙන වල් ගස් වත්තේ කොච්චර තිබ්බත් - තාත්තටත් ඕනේ මේ පැලේම කපලා දාන්න. තාත්තා කිහිප දවසක්ම මමත් එක්ක මේ පැලේ ගැන පැටලුන වාද වලට එයාට කියන්න විද්‍යාත්මක කරුණු නැහැ, හැබැයි Teen පුතාට පරදින්න බෑ නේ - එහෙම වුනෝත් පියෙක් සතු ලොකුම දේ නැති වෙනවා කියලනේ තාත්තල හිතන්න ඕනේ, මොකද වැඩිහිටියන්ට ගරුකරන්න කියලා පන්සලේ කියන්නේ - ඒක නිසා Seniority එකට කියන ඕන ගොං කතාවක් එහෙයි කියලා පුදලා පිළිගන්න එකනේ. එහෙම නොකරන පුතෙක් අකීකරු අසාර්ථක නූගත් පණ්ඩිතයෙක්. ඒක නිසා තාත්තට මේ ගැන දොසක් කියන්න බැහැ. කොහොම හරි කරුණු විරහිත වාද සහ පොඩිරත්න සර්ගේ ගැන ඔහු තුල තිබ්බ මනස්ගාත අත්බූත පුහු මතවාද ඇරෙන්න පිළිගත හැකි කිසිම තර්කයක් තාත්තටත් හොයාගන්න බැහැ මේ ගහ උගුරැස්ස නෙවෙයි කියන්න. මම ගහට සලකනවා දකින්න දකින්න - තාත්තා කිපෙනවා. තාත්තා මම ගහට ගරු කරල සලකන එක දකින්නේ, පොඩිරත්න සර්ට දෙන අනවශ්‍යය ගෞරවයක් විදියට. අම්මටත් මේ අදහස තාත්තා පැලපදියම් කරවලා. දවසක් ඉස්කෝලේ ඉදන් ගෙදර එනකොට තාත්තා නිවාඩු දාලා ගහ කඳ මැද්දෙන් කපලා. ඉතිං එදා හරිම දුකක් දැනුනේ. මම බිම හැපිලා කෑ ගහලා, ගහේ ඉතිරි කොටේ වටේට කනු බැදලා ආයේ වතුර ගෙනත් දාන්න ගත්තා. තාත්තා කොච්චර කෝපයකින් හිටියත් එදා ගහ මුලින්ම ඉදිරුවේ නැත්තේ - මගේ අසීමිත විශ්වාසය හා සටන ගැන ටිකක් බයක් තිබ්බ නිසාමයි. ඉතිං කපල දුර්වල කරපු ගහ මට අවුරුදු 29 ක් විතර වෙනකොට, සරුසාරව විශාලව වැවිලා, අවුරුදු 16 කට පස්සේ - ගෙඩිය දෙක හැදෙන්න අරං. ඉතිං ඒත් පොඩිරත්න සර් ගැන අපේ අම්මා තාත්තා තුල තිබ්බ වැරදි සහගත හැඟීම දුරුවෙලා නැහැ. දැන් තාත්තා වයසින් දුබලයි. ඒ පාර කියනවා ගෙඩි හැදෙන්නේ නැති ගහක් දීලාලු. මේකේ ගෙඩිය දෙකලු හැදෙන්නේ. ඒවත් නරක් වෙලා බිම වැටෙනවලු. මේ ගෙඩි වරන වර්ගයේ උගුරැස්ස ගහක්ලු. එක එක අර්ථකතන දිදී තාත්තා මේක කපන්නමයි පොරේ. කෑ ගහල ගහලා තාත්තා කපන්න හිතන වාර වල මම ගහ බේර ගන්නවා. අන්තිමට මේ අවුරුද්දේ - ගමේ කිසි උගුරැස්ස ගහක ගෙඩි නැහැ. අපේ ගහේ ගෙඩි පිරිලා වැක්කෙරෙනවා. මේ ගෙඩි කනකොට මේ කතාව දන්න අම්මටත් හිනා. තාත්තාගෙත් කට වැහිලා. යහපත් ප්‍රතිඡල එනකොට ඒවා අයිති කරගන්න අයිතිකාරයෝ ගොඩයිනේ. මම එන්නත් කලින් අම්මා - උගුරැස්ස ගෙඩි කඩාගන්න වෙළෙන්දෙක්ට ගහ බදු දීලා.

මේ උගුරැස්ස ගහ ගැන කථාව අපේ වට පිටාව හා අපි ගැන කියනවා ලොකු කතාවක්. ඒක තමයි ලාංකීය සමාජය තුල පිහිටි ගතානුගතික කුහකත්වය, යතාර්ථවාදීව විවෘත්තව නොදකින ගතිය හා අනෙකා සාවද්‍ය ලෙස නැති තැන කොන් කිරීමේ කුහක කුරීරු මානසිකත්වය. ඒවගේම තියෙන අනෙක් දේ තමයි අපේ එවුන්ගේ තියෙන අවස්ථාවාදී ආත්මාර්ථකාමී කෑදරකම. විදුලි බල මණ්ඩලේ එවුන් එක බිත්තරේ දාන කිකිලි මරන් ඔක්කොම බිත්තර ටික එක පාර ගන්න හදලා කම්මැලි කමටම. මුන් අතුටික තියලා ඉදුන ගෙඩි ටික විතරක් කඩන් කෑවනම් - තව කීදෙනෙක් උන්විදින ඒ සතුටම බුක්ති විදිනවද කියන කාරණය නොදන්නවාට වඩා, ඒක නොවැදගත් ගානට - දැන දැනම මේ ගහ, කුහක කමට විනාශ කරලා ගිහින්. අපේ මිනිස්සුන්ගේ මේ තියෙන කුහක කම හා ඉරිසියාව හරිම දරුණුයි. කුරීරුයි. තමුන් විතරක් - තමුන්ගේ පවුල විතරක්, මිනිස්සු විතරක් ජීවත් වුනොත් ඇති කියලා හිතන්නේ. සොබා දහම උන්ගේ අම්මගේ අප්පගේ කියලා හිතන්නේ. දඩුලේනෙක් වත්තට ආවොත් ඒකට අහකදාන කුරුම් බැට්ටියක්, කුණු පොල් ගෙඩියක්, උණ අඹයක්, වැටිලා විසිකරන ඇඹරැල්ල ගෙඩියක්, රඹුටන් ගෙඩියක් කනවට තරහයි.ඉතිං සමහර වෙලාවට අපේ අම්මත් - රඹුටන් ගෙඩියක්, ඉදුනු අඹ ගෙඩියක් වගේ ලේනෙක් කනවා දැක්කොත් පොඩ්ඩක් අප්සෙට් යනවා. දඩු ලේන්නු පවුල පෙන්නන්න බැහැ. දඩු ලේන්නු අපේ ගමට අපේ පරිසරයට ආවේ මෑතක. ඒ අවුරුදු ගණනාවකට පස්සේ. අපි කුඩා කාලේ උන් වත්තේ හිටියේ නැහැ. අපේ බෞද්ධයෝ මේ සත්තු හැලි වලට එකතු කරගෙන තියෙන්නේ පෝෂණ ගුනය මැනවින්ම දැනගෙනමයි මගේ හිතේ. හැබැය් වත්මන් පරපුර ඒ අතින් සත්තුන්ට කුරීරු නැහැ. නැත්නම් ඉස්සර හිටපු ගැමියෝ ඉබ්බෙක්, හාවෙක්, මී මින්නෙක්, වල් ඌරෙක්, තලගොයෙක්ට ගෙයක් ගාවින් යන්න දෙන්නේ නැහැනේ.
ඉතිං Silly Lanka විදුලියේ මුන් තක්කඩිකං කලාට මට දුක් වෙන්න දෙයක් නැහැ. මම අතින් වලවල් කපලා - වෙහෙසිලා, මහන්සිවෙලා හිටවපු, සාත්තු කරපු පල දරණ ගස් දැන් ගොඩයි. අපේ ගෙදර ගොඩක් යන එන අය දකින්න ආසා දෙයක් තමයි අපේ වත්තේ තියෙන අලංකාර ගස් කොලන් ටික. වතුර වලවල් පොකුණුටික. මේවගෙන් බහුතරයක් මම කුඩා කාලේ හිටන් හිටවපුවා - කපපුවා. හැබැයි හිටවන්න කියලා දුන්නේ - පුරුදු කළේ අපේ අත්තම්මා. ඊට පස්සේ තාත්තා. ඊට පස්සේ බාප්පා. අත්තම්මා මේ පුරුද්ද අපේ පවුලේ හැමෝටම දීලයි ගියේ. මට ආඩම්බර වෙන්න පුලුවන් තවත් දෙයක් තමයි - දුගී කම්කරුවෙක් ලෙස රැකියාව කලත් මගේ බාප්පා අවසන් ගමන් යන්න ලෑස්ති වුනේ - ඇවිදගන්න බැරුව ඇවිත් වැදලා පොල් පැලයක් හිටෝල. කොහොම හරි ලංකාවේ පරිසරය ගැන වැරදි අවබෝධයක හිටපු මට ගහක කොලක ඇලක දොලක සතෙක් සිව්පාවෙක්ගේ වටිනාකම කවදාවකවත් රුපියල් සතවලින් නම් තක්සේරු කරන්න බැහැ කියලා අවධාරණය කරලා පෙන්නල දුන්නේ රතුපස්සවල විරෝධාර රණවිරු කැල තමයි.

අන්තිමටම කියන්න තියෙන්නේ අපි නොදැක්කට සංවේදි නොවුනට අපි විසින්ම කරන පරිසර විනාශය හරිම දරුණුයි. මීට අවුරුදු 15 කට 20 කට කලින් තිබුණු දියකඩිති වතුර පාරවල් අද නැහැ. ඉතිරි වෙලා තියෙන ඒවගේත් දණ්ඩි පැටියෙක් නල හඳයෙක්වත් දකින්න නැහැ. මේක හරිම අවාසනාවන්ත තත්වයක්. මේ විදියට අපිට කොච්චර කල් අල්ලලා හිටින්න පුලුවන්ද කියන එක තමා ප්‍රශ්නේ.

2 comments:

  1. චන්දනගේ සටහන් ලියු ,, චන්දන කෝ.?
    මට බ්ලොග් එකක් නැතිහින්ද කියවන ලියන අයව දැනුවත් කරන්න කමෙන්ට් කරේ සමාවෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මේ මොන ගොබ්බයෙක්ද? නැති වුන එකා කොහෙ හරි බඩුවක් ගහගෙන සන්තෝසෙන් ඇති..හැම තැනම ඌ හොය හොය දඟලන්නෙ වෙන වැඩක් නැද්ද?

      Delete