Friday, September 20, 2013

අපේ ගම

අද හැමෝම කියන චොදනාව තමා එදා ගම සුන්දරයි කියල. අද සමාජෙ ඔය කියන තරම් පිරිහිලාද ? අනේ මන්ද. ඔය හැම දේටම වගේ ඔය සුන්දරත්වයෙත් දෙපැත්තක් අපි දැක්කා. සමහර අතින් ගත්තාම එදාඩ වැඩිය අද හොදයි කියලත් හිතෙන අවස්තා එමටයි. දැනට අවුරුදු 20 කට 25 කට විතර කලින් මට අතකයි අපේ ගමට හැන්දෑව එන හැටි. රොබට් අයියා සරම කොහෙ හරි වැටකට පටලෝගෙන සරම යට එක පිටින් තමයි කන්දෙන් පහලට බහින්නේ. උන්දැ පහලට බහිනකොට මුලු ගමේම ගෙවල්වල අත්තල මුත්තල නත්තල පනත්තල හත්මුතු පරම්පරාවම මතක් කරනවා. ඊට පස්සේ ගෙදෙට්ට ඇවිත් මිනිහා පවුලත් එක්ක හොද අඩව්වක් අල්ලල පදවල් කියල පැය දෙකක තුනක නාටකයක් නටල ගෙදර තියෙන බඩු මුට්ටු ටිකයි ළමයිනුයි එළියට දාලා තමයි නිදාගන්නේ. සිමියොං අයියාගේ කොන්ඩෙ තඹ පාට වුනේ ගමේ පෙරිච්ච මධ්‍යසාරයටමයි. ඉතින් මෙහෙම ගෙවල් ඕනතරම් ගමේ එදා තිබ්බා. අපේ ගමේ තවත් ප්‍රසිද්ද කඩ පොලක් තමයි කජු කඩේ කියන්නේ ඒ කාලේ. අවුරුද්දෙ හැමදාම කජු එතන. මටත් පුදුමයි ඇයි කියල. මොකද කජු හැදෙන්නේ අවුරුදු මාසේ විතරනේ. පස්සේ තමයි දැනගත්තේ එතන තමයි අපේ ගමේ සූදු පොල. සුරාවයි සූදුවයි ලාභයට නමුත් ජයට එතෙන කෙරෙනවා. ඒ පැත්තකටවත් අපේ අම්මල තාත්තල අපිට යන්න දෙන්නේ නැහැ. මෙතන කජු තියෙන්නේ නමට. ඒ කියන්නේ නිතරම පොලිසියෙන් පනිනනව එහෙමනේ. එතකොඩ හැමදාම කජු තමයි පොලිසියට හම්බ වෙන්නේ. ඒ වගේම තමයි මෙතෙන්ට වැඩිපුර ආවේ ගමේ පැරණි කට්ටිය. සෙරෙප්පු බණ්ඩ අයියා, කජු බණ්ඩ අයියා, සාමාන්‍යෙයන් ආරොං අයියා, සයිමන් අයියි, හරමානිස් අයියා, බණ්ඩ රාළ, සිමප්පු මුදලාලී, මේ ගොල්ලො 1988 89 වෙනකොටත් හැට පැනපු අය. මේගොල්ල අතර මොනව වුනත් ජ්‍යෙෂ්ඨත්වයට තමා තැන. හැන්දෑවෙ හතර පහ වෙනකොට කට්ටියම සරම් අකුලල කජු කඩේ ඉස්සරහ ඇන තියල බිම ඉදගෙන එක්කෝ කම්මුල් වල අත් ගහගෙන නැත්නම් බිම හාර හාර බර කල්පනාවල ඉන්නෙ. මොවුන් ගොඩ දෙනෙක් කම්කරු රැකියා කරපු ඉඩම් අහිමි දුප්පත් මිනිස්සු. ජීවිතෙයි දවසෙයි සැදෑ සමය ගෙවන්න තෝරගන්නේ මෙතන.

ඇත්තටම ඒ දවස්වල අපේ ගමේ අවුරුදු කිට්ටු වෙනකොට කසිප්පු වඩිත් වැටෙන්න ගන්නවා. අපිට පොඩිකාලේ හිතාගන්න බැහැ වතු වලට පැනල මේ මිනිස්සු කජු පුහුලන් මෙච්චර එකතු කරන්නේ ඇයි කියල. පස්සෙනේ සාත්තරේ දැනගත්තේ. ඒ වගේම තමයි - නත්තල් අවුරුදු වෙනකොට ගම් ඌරො එලාගත්තු ජාකොරිස් අයිය සයිකලේ පිටිපස්සේ ඌරු ගාතේ බැදන් පාර අයිනට එන්නේ. සතා දැක්කාම ඇග වෙච්ලනවා. බෞද්ධයෝ බොහෝම ස්‍රද්ධාවෙන් තමා ඌරු ගාතෙට කරුණා කරන්නෙ. එහෙම මස් නොගන්න ගෙවල් තිබ්බා - නැතුව නොවෙයි. ඒ වගේම තමයි ගමේ කොල්ලෝ තලගොයි ඉබ්බො කොරවක්කෝ හාවො හොයාගෙන වතු වලට පනින්නේ.
මේ වගේ වැඩ ඇත්තටම එදා කළේ යමක් කමක් නැති මිනිස්සු. ඒ මිනිස්සුන්ට සමහර විට කරෝල කෑල්ලක් එක්ක හීනැටි හාලේ බතක් කනවා කියන්නේ හීනයක්. ඒ මිනිස්සුන්ට එතනින් එහා ජීවිතයක් තිබුනෙත් නැහැ. එතනින් එහාට හිතන්න අධ්‍යාපනයක් තිබුනෙත් නැහැ. සදාකාලිකවම කලේ කුලී වැඩ ඉඩම් හිමියො ලඟ. පොල් ලෙලි ගැහීම, කොහු, පොල් වලවල්, වෙල් වැඩ, අගල්, මේවා තමයි තිබ්බ කුලී වැඩ.

නමුත් අද භෞතිකව ගම ඊට වඩා වෙනස්. හැමෝටම ගෙයක් දොරක් වාහනයක් තියෙනවා. සත්තු මරන්න කවුරුත් නැහැ. මටම පුදුම හිතුනා අපේ වත්තේ වලේ මෑතකදි ඉදන් ඉන්න ඉබ්බො රංචුව තාවම ඉන්නවා අවුරුදු දෙක තුනක් වෙලත්. දැන් කොල්ලො කවුරුත් තලගොයි හොයන්න හුඹස් පෙරලන්නේ නැහැ. දැන් කොල්ලො හන්දියේ බංකුවට වෙලා බූරු කුට්ටමයි බීඩියයි තියාගෙන කාලෙ කකා ඉන්නේ නැහැ. හොර පොල් නෙමෙයි ඇත්තටම පොල් ගෙඩියක් කඩාගන්න ගහකට යන්න දන්න මනුස්සයෙක් හොයාගන්නත් අමාරුයි. හැබැයි ඉතින් දැන් ගහ කොල පරිසරයත් ටිකක් වෙනස් වෙලා. ඒ දවස්වලා නාන ලිදක් කවදාවත් හිදෙන්නේ නැහැ. අපේ වත්තෙම නාන ලිං දෙකයි. පං වලයි. ගල්ලැහැ වලයි. කොහිල වලයි - බොන ලිදයි , වලවල්ම ගොඩයි. වටේ ගෙවල් වලත් ගොඩක නාන ලිං බොන ලිං කියල ලිං දෙවර්ගයක් තිබ්බ. ඩෙංගු කියල අහලවත් නැහැ. නිල් පාට වතුර. අපේ ලිදේ වතුර ප්‍රසිද්ද හීතල නිසා. ඒක ලග කුඹුක් ගහක් තියෙනවා. දැන්නම් කුඹුක් ගහ විතරයි තියෙන්නේ. ඒකත් අපි ලගින් යනකොඩ අතු ටික අකුලගෙන හැංගෙන්න වගේ හදනව - වැඩේ දෙයිද කියල බයට. ලිං තාම තියෙනවා. වතුර නැහැ. දන්ඩි හුංගො ලුල්ලු ආදෝ මගුරො තෙලියො කාවයියො කනයි ලිංවල ඇලවල් වල එදා පිරිලා. අද උනුත් දකින්න නැහැ. යන්තන් අවුවක් වැටුන ගමන් වතුර ඔක්කොම හිදෙනවා. එදා කොල්ලො වලකට පිහි දාලා හොලෝපුවාම මාලු කැපිලා උඩ පාවෙනවා. අද ඉතින් මොන මාලුද ?

අනිත් දරුණුම දේ තමයි එදා ගම්මු ගොඩක් නූගත්. හැගීමට තමයි මුල් තැන. හැමෝම පොර ටෝක්ස්. පොඩි දෙයක් වුනත් අන්තිමට ඉවර වෙන්නේ පිහියක් ඇගට බස්සල නැත්තම් උදැල්ලක් බෙල්ලට පාත් කරලා. අපේ ගම්මානෙ මායිම තිබ්බේ මා ඔයට. ඒ හරිය වීශාල වතුයි කැලෑයි විතරයි. ඒවගෙත් මිනිස්සු හරිම අඩුයි. පාලමක් තිබ්බෙ නැහැ ඒ කාලේ. පොලිසියක් ආවෙ ගියෙ නැහැ. මේවගේ අහීමානවල ඉතිං කැලෑ නීතිය තමා ගොඩක් රජ කලේ. ඉතිං අවුරුදු කාලේ වෙනකට සයිකල් රේස් එකෙනුත්, අවුරුදු උත්සවයෙනුත්, බූරු පොලෙනුත් එන අනිවාර්‍ය ප්‍රවෘත්තියක් තමා අහවලා අහවලාට පිහියෙන් ඇනලා කියන නිව්ස් එක. අද අපිට දිනපතා අහන්න ලැබෙන්න ඇක්සිඩන්ට් ගැනනේ. ඇත්තටම මේ ඔක්කොම එදත් තිබ්බේ දුප්පත් යමක් කමක් අඩු මිනිස්සු අතර තමා. යමක් කමක් තිබ්බ මිනිහා කාලා බීලා ඕප දූපයක් කාරිය අහලා වයර්ලස් එකේ සින්දු කෑල්ලක් අහගෙන උදේට පිරිත්ටිකකුත් අහල හවස කඩපොලේදී මිනිහෙක්ට ගරහල ඕපදූපයක් හොයාගෙන පාඩුවෙ හිටියා.

1 comment:

  1. මේක මම ෂෙයාර් පාරක් දාන්නම් එහෙනම්

    ReplyDelete