Wednesday, September 25, 2013

බාප්පගේ ජීවිතය සහ මරණය

පසුගිය දවස්ටිකේම Face Book එකේ මුකුත් කුරුටු ගාන්න වේලාවක් වුනේ නැහැ. පසුගිය සති දෙකම ටිකක් අවිවේකීව තමයි කාලය ගතවුනේ. කොහොමහරි මේ සති දෙක ඇතුලත මට මගේ ජීවිතේ විශාල පරාසයක විසිරුණු ඉතාමත්ම වටිනා ඒ වගේම කටුක අත් දැකීම් සමූහයක් එකතුවුනා - අපි ඇත්තටම ජීවිතේ ඉගෙන ගන්නේ අත්දැකීම් වලින්. නමුත් අපේ වැරැද්ද තමයි එදිනෙදා ලබන වටිනා අත්දැකීම් පැය කීපයකින් අමතක කරලා - එකම වැරැද්ද නැවත කරමින් පසුතැවීමෙන්ම කල් යවන එක.

ඉතිං මම පසුගිය වෙසක් පෝයදා දවස පටන් ගත්තේ, වෙනදා වගේම පරක්කු වෙලා නැගිටලා හවස් වෙනකොට ගේ ලඟම තියෙන මාලිගා කන්ද ආරණ්‍යයට බඩගා ගන්න අදහසින්. කාලයක් මේක අපේ අත්තම්මගේ නිති පන්සල වෙලා ඊට පස්සේ බාප්පාගේ පන්සල බවට වුනා. මම්මයි සීයා තාත්තයි නැති වුනාට පස්සේ අපේ බාප්පා මේ පන්සලට නිතරම යන්න එන්න ගත්තා. එතකන් බාප්පා හිටියේ එයාගේ අම්මා - මම්මා එක්ක. නමුත් මම්මගේ මරනෙන් පස්සේ තනිකඩ බාප්පා අපේ ගෙදර නවත්ත ගත්තා. අපේ බාප්පා ශරීරයෙන් සුවිසල් නොවුනත්, උගත් තේජසින් සුවිසල් නොවුනත් මම දන්න කාලෙට දැකපු භක්තිමත්ම උපාසක මහත්තයෙක්. එයාගේ තරුණකාලේ ඒ වගේම එයාගේ ජීවිතය ගැන මට යමක් කමක් තේරෙන්න ගත්තු දා ඉදන් මට ඔහු ගැන තිබුනේ අනුකම්පාවක්. තමුන්ගේ කියලා වෙනමම ජීවිතයක් ගොඩනගාගන්නත්, සමාජශීලිව ජීවත්වෙන්නත් මොකක්දෝ හේතුවක් නිසා බාප්පා එඩිතර වුනේ නැහැ. සමාජය ඉදිරියේ නිහඩ ලැජ්ජාශීලි චරිතයක් වෙච්ච බාප්පා ගෙදරදිනම් එච්චර ලැජ්ජාශීලි වුනේ නැහැ. සමහර වෙලාවට වැඩිහිටි වියේදි වුනත් බොලඳ කුඩා ළමයෙකු වගේ හැසිරෙන ඔහුගේ චරිත ලක්ෂණ අපේ ගෙදර යන එන අයගෙත් සරදමට ලක්වුනා කිව්වත් බොරුවක් නෙමෙයි. 


දැනට අවුරුදු 15 කට විතර කලින් එයාගේ අම්මා නැති වෙච්ච දවස්වලට පස්සේ ඉදන් බාප්පා ගොඩක් දවස්වලට පුරුද්දක් විදියට වැඩ ඉවරවෙලා ඇවිත් මහා රූ ජාම වල මේ කන්ද නැගල පන්සලට යන්නේ හරිම භක්තියෙන්. මුලදි මුලදි තනියම රෑ දෙගොඩ හරියේ පන්සල් යන වැඩේ තාත්තට රිස්සුවෙත් නැහැ. මේ වැඩේ ආරණ්‍ය හාමුදුරුවන්ගේ භාවනා කටයුතු වලටත් ටිකක් කරදර දෙන්නක් වුනාද කොහෙද. ගොඩක් දවස් වලට ටොච් එකත් අරන් ටොපි චොකලට් රසකැවිලි ඉටිපන්දන් අරන් - එයාගේ වස්තුව සියල්ලම කවුරුහරි ගනියි කියන සැකයෙන් වගේ බෑග් එකට දාගෙන, මේ කන්ද කරුණා කරන බාප්පගේ හිතේ මොන වගේ අරමුණක් තිබුනදනම් කියලා මම දන්නේ නැහැ. හැබැයි එකක් නම් දැනගෙන හිටියා - ඒ සමහරු බාප්පට ගරහපු බවත්, සමච්චලයට හා උසුලු විසුලු කිරීමට ලක් කල බවත්, සමාජය විසින් කොන් කරමින් බොරු අනුකම්පාවට ලක්කල පුද්ගලයෙක් කියන කාරණා ටික. අනික් එක තමයි බාප්පා මේ පන්සලට යන්න එන්න ගත්තේ දැන් එයාට එයාගේ කියලා කාත් කවුරුවත් නැතැයි කියන හැගීම ආපු නිසාත්, ඔහු කිසියම් සෙනෙහසක් ආදරයක් පන්සලෙන් බලාපොරොත්තු වුන නිසාත් කියලා ටික ටික මට තේරුම් ගියා. බාප්පා මොකක්දෝ හේතුවක් නිසා මිතුරන් ඇසුරු කරන්න බිය වුනා. කුඩා කාලයකවත් ඔහුට හිටපු මිතුරෙක් ගැන නම් අහලවත් නැහැ. අසල් වැසියන් ඇසුරු කරන්නත් බාප්පා නිතරම සැක හිතුවා. ඒක නිසා ඔහු තනිකඩ නිහඩ ජීවතයක් ගෙනියන්න උත්සාහ කලා. කොහොමහරි ඉතිං අපේ අත්තම්මගේ මරණයෙන් පස්සේ පන්සලත් එක්ක ඇතිවෙච්ච සබදකම බාප්පගේ අන්තිම දවස වෙනකම්ම එයාට ශක්තියක් වුනා.

බාප්පා මෙහෙම උසුලුවිසුලුවකට ලක්වුනේ, ගැරහීමට ලක්වුනේ නිකම්මනම් නෙමෙයි - කරුණු කීපයක් උඩ. එයාගේ සාපේක්ෂව කුඩා ශරීරය, එයාගේ නිහඩ බව හා අනෙකුන් විශ්වාස නොකරන ගතිය, එදිනෙදා මග තොටේ දකින සම වයසේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වෙනස් වුනු චාර්‍ය්‍යා රටාවල් - මේ ඔක්කොම බාප්පා අසාමාන්‍ය මනුෂ්‍යෙයකු ලෙස සමාජය ඇතුලේ හන්වඩු ගැහුවා. බාප්පා බුදුන් වදින්නේ දොහොත් මුදුන් දීලා - හරිම භක්තියකින්, ගෞරවයකින් - බුදුන් ජීවමානව දැක්කා වගේ අපමණ සන්තොසයකින්. මම හිතන්නේ ඒක තමයි බුදුන් වදින නිවැරදිම ක්‍රමය. හැබැයි එයාගේ මේ ඉරියව් හා අපරිමිත භක්තිමත්බව දකින හැමොටම හාස්‍යක්, නූගත් නොහොබිනා මොඩ විහිලුවක්. කෙටියෙන්ම කිව්වොත් බාප්පා රස්සාවෙන් කම්කරු ශේණියේ මිනිහෙක්. මටත් හිතා ගන්න බැහැ, යමක් කමක් හිමි බාප්පා - කම්කරුවෙක් විදියට දුෂ්කර, පිළිගැනීමට ලක් නොවන රැකියාවක් කරන්න තරම් දෛවය කුරිරු වුනේ කොහොමද කයලා. හැබැයි ඔහු වැඩ කලේ මේ රටේ ජාතික ජලසම්පාදන මණ්ඩලය කියන රාජ්‍ය ආයතනයට. මේ රාජ්‍ය ආයතන මේ දුබලයන් හෝ එතරම්ම හැකියාවන් නොමැති පිරිසට වැඩ කරන්න එච්චර සුන්දර තැන් නෙමෙයි. අපි හරියට ආඩම්බර මේ බෞද්ධ රටේ, බෞද්ධයන්ට වැඩිපුරම හිරිහැර කරන්නේ තමුන්ගේම බෞද්ධයෝ මිසක් වෙන අයනම් නෙමෙයි. බාප්පව අවුරුදු තිස් ගානක් වෙච්ච Indirect/ direct Bullying වලින් බේරගත්තේ David කියලා ක්‍රිස්තියානි ඉංජිනේරු මහත්තයෙක් - මොරටුව විශ්ව විද්‍යාලයේම ආදිශිෂයෙක් වෙච්ච. මේ මහත්තයා එයා අසීරුවෙන් හිටපු පිරිසෙන් ගලෝගෙන සුදුසු ස්ථානයක සුදුසු ලෙස ගෞරවයෙන් වැඩකිරීමේ අවස්ථාව සලසල දුන්නට පස්සේ, බාප්පා එයා තිස් අවුරුදු රැකියා ජීවිතේ පලවෙනි වතාවට නෝ පේ නොගිහින් බොනස් එකක් හිමි කරගත්තා. 
මේ හිරිහැර ගොඩක් ශාරීරික නැහැ. නමුත් අපේ අය ආයතන ඇතුලේ ගොඩක් වෙලාවට කරන්නේ දුබලයින්ව විවිධ අකාරුණික වචන සමච්චල් විහිලු ගැරහිලි අගෞරව කිරීම් වලින් පීඩනයට පත් කරන එක. ඒවයින් දුබලයින්ට වෙන මානසික පීඩනය කොච්චර දරුනුද කියල කවුරුත් දකින්නේ නැහැ - නැත්නම් ඒ ගැන සන්වේදී නැහැ. අද වෙනකොට බාප්පා අපෙන් සමුඅරන් හරියටම දවස් හතක් වෙන තැන මට මේ පෝස්ට් එක දාන්න හිතුනේ, ලංකාවේ අපේ ආකල්ප සැලකුම් ඇවතුම් පැවතුම් දුබලයා කෙරෙහි කොච්චර අකීකරුද කියන කාරණයට උදාහරණත් ටිකක් දෙන ගමන්මයි ...

අපේ බාප්පා මට මතක ඇති විදියට වැඩ කාලේ කොච්චිකඩේ, මීගමුව, බම්බුකුලිය කියන ජලසම්පාදන මණ්ඩල තුනේ. මම දන්න කාලෙක එක අවුරුද්දක ඇර වෙන කිසිම දනක බාප්පා වෙලාවට වැඩට ගිහිනුත් නැහැ, හැම දාම නෝ පේ සහ Warning. ඔහුගේ අවුරුදු 30 කට වඩා දිගු සේවාකාලය තුල බාප්පා හැමදාම වැඩට ගිහින් බොනසුත් ගත්තු එකම අවුරුද්ද වුනේ ඔහුගේ ජීවිතා අවසාන අවුරුද්ද කියල හිතද්දිත් හිතට දැනෙන්නේ ලොකු දුකක්. බාප්ප හැමදාම ප්‍රිය කරන්නේ කුඩා කාලේ සෙල්ලම් බඩු, කැසට් රේඩියෝ, ලයිට් වැල්, බකට්, ඉටිපන්නදම්, එලාම් ඔරලොසු, පියරු ටින් විසිතුරු බඩු සුවද විලවුන් ආදිය එකතු කරගන්න. තරුණ වයසෙවත් බාප්පා හොයාගත්තු සල්ලිවලින්වත් කොච්චර ඇදුම් ගත්තත් එයා වැඩට හොද ඇදුම් ඇන්දෙ නැහැ. එයා කියනවා වැඩපලට පිරිසිදු ඇදුම් අදින්න ඕනේ නැහැලු - වැඩ කරන තැනේ හැටියට අදින්න පළදින්න ඕනේ. මේවා මහා පණ්ඩිත කතා. ඉතිං කිලිටි පරණ ඇදුමක් ඇදල උදේට තෙල් ගාලා පියරු මූණ පුරා ගාගෙන පොඩි ළමයෙක් වගේ වැඩට යන බාප්පා - මගේම බාප්පා කියන්න, මම වයස 7,8 කාලේ වගේම සරසවියට යනකලුත් ලැජ්ජා වුනා. තමුන්ට වඩා ශාරීරිකව ශක්තියක් අඩු - එහෙමත් නැත්නම් වෙනස් විදියට හිතන, නිතර දකින ක්‍රමයෙන් අපගමනය වෙච්ච හැසිරීම් තියෙන අයට සමාජය හරිම කුරීරුයි. ඇත්තටම කියනව නම් මෑතක් වෙනකම්ම අපේ ගෙදර අම්මයි තාත්තයි වුනත් බාප්පා ගැන ටිකක් හිතුවේ අපි ගැන, නැත්නම් සාමාන්‍ය අනික් ඒ ගොල්ලන්ගේ හිතවත් මිතරන් නෑදැයින් ගැන හිතන විදියට නෙමෙයි. ඒකට හේතුව තමයි බාප්පා වගේ කෙනෙක්ට නැත්නම් අමුතු වෙනස් චර්‍යයා රටා සහිත පුද්ගලයෙක් දිහා කාරුණිකව බලන්න ඒ ගොල්ලන්නට සමාජයෙන් පොත පතින් රැකියා කරන ආයතනයෙන්, මිතුරන්ගෙන්, වැඩි හිටියන්ගෙන් දැනුමක් පුහුණුවක් හා ක්‍රියා පිලිවෙලක් ලැබිලා තිබුනේ නැති කම.

ඉස්සර මහ රෑ වෙලා බාප්පා ටෝච් එක අරන් පන්සල් යන්න හදනකොට තාත්තා බනිනවා - යකෝ උඹ රූ තිස්සේ පන්සල් ගිහින් හාමුදුරුවන්ට කරදර කරන්න එපා, ගෙදර හිටපන් කියලා. එහෙම කියන්නේ බාප්පට ආදරේට. නමුත් බාප්පා මේක දකින්නේ බාප්පට කරන අවමානයක් හිරිහැරයක් විදියට. බාප්පට මෙහෙම කෑ ගහද්දි - මම අම්මටයි තාත්තටයි කෑගහනවා. බාප්පව බයිසිකලේ තියාගෙන පන්සලට ගිහින් ඇල්ලලා එනවා. සමහර දවස්වලට බාප්පා තරහා වෙලා පන්සලේ නවතිනවා. ඉතිං මම ගිහින් එක්කන් එනවා. ටික කලක් යද්දි ගෙදර අයගෙත් බාප්පා ගැන ආකල්ප වෙනස්වුනා. බාප්පගෙත් ගෙදර ගැන ආකල්ප වෙනස් වුනා. බාප්ප පොඩි ළමයෙක් වගේ. අවුරුද්දට රතිඤ්ඥා අහස්කූරු බමර චක්‍ර නිලා ඔක්කොම ගේනවා - අවුරුදු කරන්න. අපිටත් ඉදල හිටලා නිලා කූරක් දෙකක් දීලා පත්තු කරන හැටි ඈත ඉදන් බලන් ඉන්නවා. එයා මේවා ගෙනාවට පත්තු කරන්න බයයි. මොනව ගෙනාවත් පත්තු කරන්න අපිව අඩගහගන්න ඕනේ. ඒ වගේම තමයි වෙසක් එකටත්. මොනවා නැතත් බාප්පා වෙසක් එකට බෞද්ධ කොඩියි ටොපියි බකටුයි ඉටිපන්දමුයි නම් ගේනවමයි.
කොහොම හරි පහුගිය අවුරුද්ද දෙක තුන මටත් එච්චර ගුණ වුනේ නැහැ. කරපු ගොඩක් දේවල් වැරදුනා. රස්සාවලුත් එච්චර fit වුනේ නැහැ. රට ගියා - ඒවත් එච්චර හරි ගියේ නැහැ. ණය පිට ණය. ඒ වෙනකොට උපාධි තුනකුත් කරලා - ප්‍රශ්චාත් උපාධියත් කොරලා, තව විබාහග ගොඩකුත් කරලා - හරි හමන් රස්සාවක් නැතුව හිටියේ - ඇත්තටම මේ කාලේ ජීවිතේ ගැන ලොකු බලාපරාපොරොත්තු තියන එකත් මම අත ඇරියා. ඒ වගේම කිහිප වතාවත් ඇක්සිඩන්ට් වුනා - රොහල් ගත වෙලාත් මාස කිහිපයක් අසාද්‍යව හිටියා, කරන කරන දේ වරදින නිසා, ගොඩක් ප්‍රයත්නයන් පරාජයෙන්ම කෙලවර වෙච්ච නිසා ජීවිතේ ගැන එහි නියම ස්වභාවය ගැන ගොඩක් අත් දැකීම් ලබමින් හිටියේ. මේවත් එක්ක බාප්පටත් හොදටම අප්සෙට් වුනා. මොකද මගේ අතේ කීයක් හරි තියෙනවනම් බාප්පටත් ජයයිනේ. අවුරුදු 50 පැන්නත් - මගේ පස්ස උඩ දාපු රේසිං මොඩල් බයිසිකලේ නැගලා සුදු සරමත් ඇදන් බාප්ප යන්නේ හරිම ආඩම්බරෙන්. බයිසිකලේ ස්ටාර්ට් කරන සද්දෙට පොඩි එකෙක් වගේ බාප්පා දුවන් එනවා. මම කියනවා - බාප්පේ යන් පොඩි ගමනක් !!!. පොර සුදු සරමත් දාගෙන හෙල්මට් එකත් අතට අරන් විදුලි වේගෙන් දුවන් එන්නේ. වේගය ටික ටික වැඩි වෙනකොට මීටරේ බලාගෙන බාප්පා කෑ ගහනවා. දැන් 60 පැන්නෝ - හෙමින් යමු හෙමින් යමු !!!- ආයෙනම් මම එන්නේ නැහැ. !!! ඒත් ඊ ළග දවසෙත් බයික් එක ස්ටාර්ට් කලොත් බාප්පා එතන.

බාප්ප සත්තුන්ට හරිම ආදරෙයි. ගමේම බල්ලොන්ට කඩල දෙන්න ආප්පයි, බනිසුයි, බිස්කටුයි - බිත්තරයි අරන් තමයි බාප්පා එන්නේ. බාප්පා එන වෙලාවට ගෙවල් වල බල්ලො පාරට වෙලා ඉන්නේ වාසියක් එනකම්ම තමයි. පහුගිය අවුරුද්දෙත් කොහොම හරි කැලෑ බලලෙක් යාලු කරන්. වෙන එකත් තියා වත්තේ හිටපු දඩු ලේන්නුත් බාප්පව දන්නවා. ඒ බාප්පා බනිස් ස්පන්චි ඥානකතා ගස්ලබු කෙහෙල් ගෙඩි අඹ වගේ දේවල් ගෙනත් එයාගේ ගේ ඉස්සරහ පොල් ගහේ තියෙන කුඩා කුහර ඇතුලේ ගහන නිසා - ලේන්නුන්ට කන්න. කොහොම හරි පසුගිය වෙසක් පෝයදා වෙනකොට බාප්පට උණ. බාප්පා ශාරීරිකව බැලූ බැල්මට දුර්වලව නොපෙනුනත්, හොදට කතා බහ කරමින් හිටියත් මටත් නිකමට වගේ දැනි දැනි තිබුනා බාප්පගේ ආයුෂනම් වැඩිය නැති බව. ඒක නිසා අපි හැමොම බාප්පාව නිතරම සතුටින් තිබ්බා. වෙනදා වෙසක් එකට බකට් පත්තු කරන බාප්පා එදා සද්ද නෑ. මම බැලුවා බකට් ගෙනල්ලද කියලා - බාප්පා බකට් ගෙනල්ලා තිබ්බා. හැබැයි පත්තු කරන්න උද්යෝගයක් තිබුනේ නැහැ. මම ඇහුවා - බාප්පේ, පකට් පත්තු කරන්නේ නැද්ද?
“නැහැ - මම දැන් ඕවා පස්සේ එච්චර යන්නේ නැහැ“
මේ කථාව මට ඇල්ලුවේ නැහැ. ඒ වෙනකොටත් අපි දැනන් හිටියා බාප්පාගේ වෛද්‍ය වාර්ථා වගේම - අපේ වෙද මහත්තය කේන්දරේ බලලා කියපු දේල් ගැන. මේ වෙද මහත්තයා - 2015 න් පස්සේ බාප්පගේ කේන්දරේ ලිව්වෙත් නැහැ. ඉතිං මම කිව්වා බාප්පේ අපි පහන් පත්තු කරමු කියලා. බාප්පා පහන් දෙක පත්තු කරලා එයාගේ කාමරේ ඉස්සරහින් තියලා වැන්දා. මම කරණීය මෙත්ත සූත්‍රය ගෙනත් බාප්පට කිව්වා මේක කියන්න කියලා - එයා කියනවා මට ඒක කියන්නලු - මම ඉතිං කරණීය මෙත්ත සූත්‍රය කියෙව්වා. බාප්පත් මාත් එක්ක කරණීය මෙත්ත සූත්‍රය කිව්වා. පහුවදා නැගිටිනකොට බාප්පට උණ තවත් වැඩිවෙලා. අපි බාප්පව රෝහල් ගත කරන්න තීරණය කලා. බාප්ප කියනවා - ගේ ඉස්සරහ පොල් පැලේ මැරිලලු. වලක් කපන්නලු - පොල් ලෙලි දාලා. වෙසක් පෝය සිහි වෙන්න පොල් පැලයක් ඉන්දන්න. මේ ඉල්ලීම ටිකක් වෙනස් නිසා - මම වැස්සෙම ගිහින් වලක් කැපුවා. පොල් ලෙලිත් දැම්මා. වැස්ස නොබලා ඇවිත් බාප්පා පොල් වලේ පොල් පැලයක් හිටෙව්වේ පොල් පැලයට හොදටම වැදලා. තාත්තාට මේ වැඩේට තරහ ගියත් - මම වැස්සෙම මේ ඉල්ලීම ඉටු කලේ බාප්පා සතුටු වෙන දේවල් ගැන මම හොදටම දන්න නිසා.


කොහොම හරි බාප්පාව රෝහල් කීපයකට ඇතුල් කලත් - එයාගේ රෝගයට අදාල විශේෂඥ දැනුම හිග නිසා අන්තිමට කුරුණෑගල මහ රෝහලට ඇතුල් කලා. මේ රෝහලෙන් බාප්පා දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරලා. ගෙදරින් කථා කරනකොටත් මම රස්සාවෙ - අලුත් රස්සාව, නිවාඩු නැහැ. පරක්කු නොවී කුරුණෑගල රෝහලට මම ආවා. බාප්පාගේ ඇග පුරා බට ගහලා. දොස්තර නොනලා මහත්තුරු ඉස්පාසුවක් නැතුව වැඩ. බාප්පා මගේ අත අල්ලන් අඩනවා පොඩි එකෙක් වගේ. කවදාවත් මම එහෙම ආඩම්බර බාප්පා අඩනව දැකල නැහැ. බොහොම අමාරුවෙන් කදුලු නවතන් - මම කිව්වේ , “බාප්පේ අපි මේකට ධෛරයෙන් මුහුණ දෙමු කියලා විතරයි, “’. රෝහලේ වැඩි වෙලාවක් ඉන්න එතන ඉන්න කාරුණික කාර්‍ය මණ්ඩලය අවසර දෙන්නේ නැහැ. නමුත් බාප්පා එතන දොස්තර නෝනට අඩ ගහල කියනවා - “මිසී - මේ මගෙ ලොකු පුතා : එයා ඉංජිනේරු මහත්තයෙක් “ කියලා. කොහොම හරි කැළඹීමකින් තොරව හිත හදාගෙන වාට්ටුවෙන් එළියට ආවේ බාප්ප වෙනුවෙන් දැන් කරන්න ඉතිරිවෙලා තියෙන ගොඩක් දේවල් - ආගමික අංශයට බාර නිසා - ඒවා ටික ඉක්මනට කරගන්න බලාපොරොත්තුවෙන්. ගිය සිකුරාදා වැඩ ඉවර කරල බුදු පිළිම වහන්සේ නමකුත් වඩම්මගෙන මම ගෙදරට එනකාට පාන්දරත් වෙලා. සෙනසුරාදා උදේ ආරණ්‍ය පන්සලට අම්මා හදපු දානෙත් අරන් පිළිම වහන්සේත් වඩම්මන් - බාප්පා අත ගහපු පිරිකරත් එක්ක යනකොට මග හරහට අත්තක් කඩන් වැටිලා හුලඟටද කොහෙද. ඒත් නිමිති විද්‍යාව අනූවනම් - මේක අසුභ ලකුණක්. කොහොම හරි පන්සලට ගිහින් පූජා කටයුතු නිමා වෙලා ස්වාමින් වහන්සේත් එක්කම මම රෝහලට ගියේ බාප්පගේ මිනිය බාරගන්න නම් නෙමෙයි. නමුත් මම වාට්ටුවට යනකොට බාප්පා වාට්ටුවේ නැහැ.

ස්වාමින් වහන්සේ හිටපු නිසා ඇඩුවේ නැතත් - මට ඕනේ වුනේ එළියට ගිහින් ඇති වෙනකන් අඩන්න. ඉතිං ස්වාමින් වහන්සේට වාහනේ ඇතුලේම කිරි පැකැට් එකකුයි, එළවළු රොටියකුයි පිළිගන්නලා - රෝහලේ උපත් මරණ ලේකම් තුමිය වෙත ගියේ හරිම හැගීම් බරවයි. එතෙන්ට යනකොට මේ ගෑණි දුප්පත් පහේ ගමේ ගොඩේ වගේ පෙනුමක් තිබුන මනුස්සයෙක්ට ගෙම්බර් දානවා - උපත් ලියන කොල ඉවරයිලු, පොටෝ කොපියක් ගහගෙන ආවොත් ලියන්නන්ලු - නැත්නම් කැමති දෙයක් කරගන්නවාලු. මේ මනුස්සයා කොහේද දුර ගමක. තමුන්ගේ බිරින්දැ අලුත උපන් දරුවත් එක්ක රෝහලා කැඩුනු පුටුවක ඉන්දෝලා - ඉහින් කටින් කොට්ට පැදුරු බඩු මලු එල්ලන්, තමුන්ගේ ලෙයින් උපන් දරුවා ලියා ගන්න හදන්නේ පුදුම දුකක් විදලා. බැරිම තැන මම ගෑනිට කිව්වා - නෝන මහත්තයෝ !!! ලියාපදිංචි කොරණ කඩදහි ගෙනල්ලා පිලිවෙලකට තියාගෙන හරි හමන් වැඩක් කරන්නයි තොපිට පඩියක් දෙන්නේ. මේ කොල අවශ්‍ය තරම් මුද්‍රණය කරලා තියාගන්න එක, පොටෝ කොපි ගහගන්න ඒක මේ මිනිස්සුන්ගේ වැඩක් නෙමෙයි - ඒකට තමයි පඩි දීලා ඔබතුමිය ඔතන ඉන්දලා තියෙන්නේ කියලා. !!! ඔයින් මෙයින් බාප්පගේ කඩදාසි ටිකත් ලියාගෙන මොචරිය ගියාට - හර්ස් එකකටත් එන්න කියලා. මොචරියෙන් මිනිය ගන්නකොටත් බාප්ප හිනාවෙනවා. ඉතිං මිනිය දාගත්ත විතරයි - මුන් සල්ලි ඉල්ලනවා. මම ඇහුවා - මොකටද කියලා. මහත්තයා - අපි මිනිය පරිස්සමට තියාගත්තනේ !!! තොපිට සත පහක් දෙන්නේ නැහැ කියලා - හර්ස් එකට මිනිය දාලා හාමුදුරුවොත් එක්කම අපි මල් ශාලාවට ආවේ ලංකාවේ රොහල් වල ඇතැම් කාර්‍ය මණ්ඩල වල අසීමිත කාරුණික බවත් - ඇතැම් සේවකයින්ගේ නොහොබිනා උද්දච්ඡ කමත් කියන දෙකම අත්විදින ගමන්මයි.

ගෙදෙට්ට බාප්පා එන කොට ගමේ අය ඔක්කොම ඇවිත් - අපිට අමුතුවෙන් කියලා කරන්න දෙයක් නැහැ. ඔක්කොම සැරසිලි කරලා, මඩු අට්ටාල ගහලා, විදුලි බුබුලු ආලෝකය සපයලා - කෑම බීම, ඔක්කොම පිළියෙල කරලා. ඇත්තටම අපේ ගමේ තියෙන මේ චාරිත්‍ර, දුකකදී සැබෑ එකමුතුකම වෙන කිසිම ගමක නැහැ කියන්නේ බොරුවට නම් නෙමෙයි - හරිම ආඩම්බරයෙන්. අවමංගල්‍ය උත්සවේ සියලු වැඩ වලට ගමේ උදවිය දායක වෙන්නේ ස්වේච්ඡාවෙන්ම හැගීමෙන්මයි. වලේ කටයුතුත් එහෙමමයි. ඉතිං ඒ ගැන ලොකු බරක් තිබ්බේ නැහැ. යන්තම් හෝ බරක් වුනා නම් වුනේ - ගමේ මිනිස්සු මහන්සියෙන් කරන කටයුතුවලින් ලකුණු දාගන්න - දේශපාලන බලවතෙක් පොඩි හොටක් දාන්න හදනකොට විතරයි. ඒ අතරම සිත් රිදවීම් වලින් තොරව - දේශපාලන අරමුණු වලින් මිනිය බේරගන්න අකමැත්තෙන් වගේ දේශමාමකයෙක්ට මිනියට පොඩ්ඩක් අතගහන්න දුන්නේ බාප්පට පින් පිනිසමයි. 


මේ මල ගෙවල් අතර තවත් සමහරුන්ගේ හැසීරීම් හරිම ජුගුස්සාජනකයි. මගේ පරණ මිතුරෙක්ගේ මව් පිය යුවලක් සොහොනට එනකම්ම ඇවිත්. ඉස්සර ඉස්කෝලේ යන කාලෙනම් මේ ඇන්ටියි අන්කලුයි කරන්නේ මගේ ගැන ඇවිත් අම්මට කේලම් කියන එක. අම්මා ඉතින් වයින් වෙලා දඟලනවා. ඉතින් මේ පාරත් මේ දෙන්නා මොන බාල්දියක් පෙරලන්නද හදන්නේ කියලා භයත් හිතුනා. ඉස්සරත් දෙන්නා ආපු වෙලේ ඉදන් පුදුම සෙනෙහසින් මගේ විස්තර අහන ගමන් මාවයි - එයාගේ පුතයි සන්සන්දනය කරනවා. දැන් මරණය ඉවරවෙලා, සොබනයට සොහොනට ඇදපු ඇඳුනුත් - ගෙදර ගිහින් මාරුකරන්ම ඇවිත්. ආයෙත් සන්සන්දනය පටන් ගන්නයි දෙන්නගේ ලෑස්තිය. කාරුණිකව මේ අනුවණ මිනිසුන්ට සංග්‍රහ කරලා - වැඩ කටයුතු ඉවරවෙලා හරිම කම්පාවෙන් ඉන්නකොට - මුන්දැ මට කිට්ටු කරලා, දැන් මගේ පඩියයි - රස්සාවයි - රස්සාවෙන් මොනවා ලැබෙනැවැදැයි ; තොර තෝංචියක් නැතුව අහනවා. ඒ ගමන්ම තමුන්ගේ පුතාගේයි එයාගේ නෑදෑයින්ගෙන් සාර්ථකත්වය ගැන කියනවා. මම තවදුරටත් ඉගෙන ගන්නවද ? මොනවද සැලසුම් ? බදින වසස පහු වෙලා නේද ? අපේ පුතාටනම් බබෙක් ඉන්නවා - තවත් එක්කෙනෙක් හදන්න කිව්වා - ඔයා ඉතිං පොඩි කාලේ ඉදන් විකාර වැඩනේ කරන්නේ - ඉගෙන ගන්නෙත් නැද්ද, තව මොනවද කොරන්නේ අපිට නම් තේරෙන්නේ නැහැ, කැම්පස් ගියත් හරියට කරගත්තේ නැහැ නේද, තවත් වයස යවන්නේ මොනවද - ඔයා කවදාවත් දෙමව්පියන්ට නිදහසක් දෙන්නේ නැද්ද - ප්‍රශ්ණ කෝටියයි. බේරෙන්න විදියක්ම නැහැ. මේ මිනිස්සු මල ගෙදරක මල බත ඉදෙන්නත් කලින් මේ වගේ අමණ ප්‍රශ්ණ අහ අහ සන්සන්දනය කරන්න හදන්නේ තමුන්ගේ දරුවෝ ගැන හිතලා තෘප්තිමත් වෙන්න විතරක් නම් කමක් නැහැ. මේ මිනිස්සු මේවා අසමින් රස කර කර කියමින් කියමින් අපි නැති තැන - ගැරහීමටත්, අපේ comfort zones වලට රිදවීමටත් පැකිලෙන්නේ නැහැ. අන්තිමට මේ දෙන්නා නිහඩ කරන්න වුනේ මමත් එච්චර කැමති ක්‍රමයකට නෙමෙයි. හැබැයි ඒ ගැන මගේ කිසිම පසුතැවීමක් නම් නැහැ. මොකද මම කරපු දෙයින් අපි දෙගොල්ලන්ටම සාමයක් සතුටක් ලඟා කරන නිසා.

1 comment:

  1. එහෙනම් බ්ලොග් එහෙකට ආව නේද ?????

    ReplyDelete