Tuesday, September 24, 2013

හරක් කතාවක්

බෝවත්තේ අපේ ඉන්ද්‍රරතන හාමුදුරුවන්ගේ ක්‍රියාව ගැන මේ දවස්වල ලොකු කතිකාවතක් යනවා. මේ හාමුදුරුවන්ගේ ක්‍රියාව පල විරහිත ක්‍රියාවක් වගේම මොඩ කමක් කියල කොටසක් කියනකොට අනික් අය කියනවා මේක අගය කලයුතු ක්‍රියාවක් ගව ඝාතනය නැවතිය යුතුය කියලා. අපේ හාමුදුරුවෝ කාලයක දේශපාලනය මූලික වෙච්ච සිංහල ජාතිකවාදී පක්ෂයක තනතුරු දැරූ පුද්ගලයෙකු නිසා මේක දේශපාලන හා ජාතිවාදී ස්වරූපයකුත් අරන්. හාමුදුරුවන්ගේ නොබිය හැසීරීමෙන් තමන්ගේ මඩිය තරකරගන්නත් තමන්ටත් ඒ කීර්තියෙන් කොටසක් අත්කරගන්නත් දගලන අය දැන් ගොඩ ගැහිලා. ඒ අතර විවිධ රූපවාහිනී මාධ්‍ය විවිධ සංවිධාන හා දේශපාලන පක්ෂම ගොඩක්. මේ අතරට විලි සංගේ නැති පාර්ලිමේතු මන්ත්‍රීවරුත් රිංගන්න හදන්නේ උන්නාන්සෙගේ දර සෑයෙන් හරි අවස්ථාවාදීව තමන්ගේ ගිලිහී යන ප්‍රතිරෑපය නංවගන්න. හැබැයි උන්වහන්සේගේ වියොවේ සෑබෑම වේදනවා දරන්නේ අපි හැමෝගෙම වගේ උන්වහන්සේගෙත් අම්මා. ඉතිං අම්මේ ඔබේ පුතා දිවි පූජා කලේ තවත් කිරි අම්මාවරු ගොඩකට ජීවිතය ගෙන්න ගන්න කියන මතය දැනටමත් රටේ පැතිරිලා නිසා ඒ ගැන ගොඩක්ම කම්පාවීම සුදුසු නැහැ කියලයි හිතෙන්නේ.කවර ආකාරයකින්වත් උන්වහන්සේගේ අධිෂ්ඨානය හෝ මුඛ්‍ය පරමාර්ථය හාස්‍යයට උපහාසයට හෝ අගෞරවයට ලක්නොවෙන්නක්. උන්වහන්සේගේ අභීත බව ගැන කිසිම විවාදයක් නැහැ - කවර දේශපාලන පක්ෂයක කවර ජාතික වාදී සංවිධානයක කවර මානසික තත්වයක හිටියත්, සංඝයා වහන්සේ නමක ලෙස අපේක්ෂිත හැසිරීමෙන් කොතරම් අපගමනය වුනත් - මොකද උන්වහන්සේගේ මුඛ්‍ය අරමුණ උන්වහන්සේම කියන විදියට ගව ඝාතනය වලකන එක සදහා රටේ මිනිසුන්ගේ හා පාලකයින්ගේ අවදානය දිනා ගැනීම කියන පරාර්ථකාමී අදහස නිසා. ඒක ඇත්තටම කොතරම් පරාර්තකාමීද කියන එක අපි ගර්හාවට ලක්කල යුතුත් නැහැ සැක කලයුතුත් නැහැ - සැක කලත් පලකුත් නැහැ. උන්වහන්සේගේ මරණය ඇත්තටම රටේ මේ පිළිබදව ලොකු කතිකාවක් ඇති කරල කියල මම දැක්කේ රට වටේ වෙසක් උත්සව හා අන්තර්ජාලයේ සමාජ ජාල අඩවි වල ගව ඝාතනය ගැන ඇති කතා වාද විවාද නිසාමයි.

මේ ක්‍රියාවට පක්ෂව හා විපක්ෂව සාර්තක බිඳිය නොහැකි තර්ක එමටයි. අපිට සතෙක් මැරීම වේදනාවට කාරණයක් හිංසාවට අකමැත්තක් වගේම හරක් මස් කන උදවිය හෝ මරණ උදවිය නවත්වීමත් කල නොහැකියි - ඒ අයගේ අවබෝධයකින් හෝ එකගතාවයකින් තොරව. කරුණු කාරණා කොහොම වුනත් කොමෙන්ට්ස් දැක්කහම මට හිතුනා මේ ගවයෝ ගැන ගොඩක් අය එක එක කතා කියන්නේ හරියට අපේ කම කියන එක නොදැන කියලා. මට දැනුත් මතක් වෙනවා මගේ කුඩා කාලේ. අපේ සීයට කරත්ත තිබ්බා. ගොන් කරත්තේ තමයි ඒ දවස් වල දුප්පත් පොහොසත් හැමෝගෙම වාහනේ. මට මතකයි මලියදේව ඉස්කෝලෙටත් පුවක්ගස්හන්දියෙන් බැහැලා මම ගියේ කරත්තේ. ඒ වැඩි කාලයකට ඈත නෙමෙයි 1987 අවුරුද්දේ. මේ කාලේ වෙනකොට විවෘත්ත ආර්තික විසබීජේ නැත්නම් රෝගය අපේ ගෙවල් වෙලාගන්න පටන් අරන්. මොකද ටිකක් කල් යනකොට කරත්තේ එනවා කියන්න අපිට ලැජ්ජා හිතෙන්න ගත්තා. School Van එකේ එනවා කියපුවාම හරිම ආඩම්බරයි. මීට අවුරුදු 25 කට කලින් වෑන් එකක් කියන්නේ පාරේ දකින්නත් නැති දෙයක්. කාර් එකක් යන්නෙත් ඉද හිට. අපේ වත්තේ පොල් අදින්න කුඹුරේ සී සාන්න මේ හැමදේටම එදා ආවේ හරක්. අනේ මන්දා මේ ඉතිහාසය කියනකොට ගොඩක් අය අපිට ගරහයිද දන්නෙත් නැහැ. මට මතකයි කොළඹත් ඒ කාලේ ඔය කතන්දරේ ඔහොමමයි. භූමිතෙල් කරත්ත පාසැල් කරත්ත ඔක්කොම හරක්ම තමයි. අපේ රටේ පොෂ් අශ්වයෝ නෑනේ. හිටියත් ලංකාවෙම පවුල් කීපයක විතරයි මගේ හිතේ. මේ හරක් බෙටි ගහනවා පාර පුරා. ඉතිං අපිට හිරිකිතක් එන්න ගත්තා. නමුත් අපිට පෙර පරම්පරාවට ගොම් බෙටි ගද ගහන අපහාසයට ලක්කල යුතු අපිරිසිදු දෙයක් වෙලා තිබුනේ නැහැ. අපි තව දකිනව මේ හරක් චූ කරණව පාර පුරා. පිලිකුළුල් හිතෙනවා. ඇයි ? අපිට සන්සන්දනය කරන්න දේවල් LuXury දේවල් දැන් අපි අතරට ඇවිත්. කාර් වෑන් පාරේ චූ කරන්නේ නෑනේ.

මට මතකයි තාත්තා උදේට office යන හැටි. වැස්සි - එයාට මම කිව්වේ පොඩි කාලේ කලු ඇන්ටි කියලා. අපේ අම්මා කලූ වැස්සි කියන එක කලු ඇන්ටි කියලා පොෂ් කරලා ආදරේ නිසාම. කලු ඇන්ටි හරිම අහිංසකයි. අන් දෙකේ එල්ලුනත් හොල්ලන්නේ නැහැ ළමයට රිදෙයි කියලා. තාත්තා ඉතිං හැමදාම උදේට කලුඇන්ටිට කොස් අතු කපලා දෙනවා ලුණු දාල. එහෙම කරන්නේ කලු ඇන්ටිට හොදට කිරි එරිලා නිසි පොෂණ මට්ටමක් රදවගන්න. ඊට පස්සේ තාත්තා කිරි දොවනවා. අනික් වැස්සියෝ වගේ නෙමෙයි - කලු ඇන්ටි කිරි දොවනකොට දගලන්නේ පයින් ගහ්න්නේ නැහැ. කවදාවත් පැටියට නැතිවෙන්න කිරි ගන්නෙත් නැහැ. ඊට පස්සේ කිරි උණු කරනවා. හරිම සුවදයි. හරිම ගුණයි. අපේ අත්තම්ම (මම්ම) කවදාවත් ගෙවල් වලට මස් ගන්නේ නැහැ. අවුරුද්දකට කවදාවත් කොකිස් හදන්නවත් බිත්තරයක් කඩලා දාන්නේ නැහැ. ඒ ගොල්ලේ වචනේ පරිසමාර්ත අර්තයෙන් මොකක්දෝ නිසා එහෙම හිතන්නවත් බයයි. කිරි නැත්නම් කරවල තමයි ඉතින් අනිත් Protein source එක. ඔය කාලෙමයි අපේ ගෙවල් වලට TV එහෙමත් ආවේ. දැන් ජලවිදුලියත් නිපදවෙන නිසා ගෙදෙට්ට ලයිට් ගත්තා 1987. ගොඩක් ගෙවල් වල TV නැති නිසා ලඟ ගෙවල් වල ලමයිනුත් එනවා TV බලන්න. මෙන්න බොලේ යනවා - ඇඩ් එකක් - ඇන්කර්ලන්තයෙන් නවසිලන්තයෙන් Anchor කිරි ගෙනෙන්නේ කියලා. හිම කදු මැද්දේ ලොකූ ලස්සන එළ දෙන්නු. බටර් - කරිපිටි වලින් හදන කිරි, ඇපල් දොඩම් විතරක් තියෙන පලතුරු කූඩේ, ලස්සන අම්මි, handsome තාත්ති - මැද්ද සුදු ලස්සන බබා , පිස්සු හැදෙනවා. මේ ව්‍යාජ රූපවාහිනී මූලික වානිජ රැල්ලේ මුලින්ම victims ලා වුනේ ගෙවල් වල අම්මල - නැත්නම් ගැහුණු උදවිය. ඒ අයට මේවා හරිම සංවේදියි. මොකද රෝසි නැන්දගෙද කොහෙද ලස්සන සුදු බබා හැදිලා තියෙන්නේ ඇන්කර් කිරි බීලා - පාන් එක්ක ඇන්කර් බටර් කාල ඇපැල් ගෙඩියකුත් එක්ක උදේට. මේක දැක්කාම මටත් කලු ඇන්ටිව ටික කාලෙකට එපා වුනා. හැබැයි වහු පැටියා මගේ යාලුවා. එයා මාව බලන්න ලෙහපු ගමන් කුස්සියටම දුවගෙන එනවා ලණුවත් පිටින්. කුස්සියේ තියෙන හැලි වලනුත් පෙරලලා බිම ගොමගාපු කුස්සිය ඇතුලේ චූත් කරල තමයි එයා එලියට යන්නේ. මේ සෙල්ලමත් හැමදාම ඉවසන්න බැහැනේ. අපේ අම්මා යම් තරමක නාගරික පසුබිමක හැදිලා තිබුන නිසා එයාට ඒවා එච්චර ඇල්ලුවෙත් නැද්ද මන්දා. මෙන්න ටික කලකින් යනවා ප්‍රචාරයක් එළ කිරි බීපුවාම සෙම එනවලු. ඇත්තටම මේකට පොඩි උපක්‍රමයක් එදා ගමේම තිබුණා. ඒ තමයි හල් පොතු දාලා මේ කිරි උණු කරන එක. එතකොඩ සෙම කතා බංගයි. කොහොම හරි මේ සෙම කතාවත් එක්කම අපේ ගෙදරත් නවසිලන්තෙන් එන නැවුම් එළකිරි පිටියි කහ පාට බටරුයි ආදරෙන් වැලදගත්තා. තාත්තටත් අමාරුයි ආදායමත් මදි - නමුත් පොෂ් එකයි හිතේ ගුණෙයි තියෙනවනේ. ලගදි තමයි දැනගත්තේ ගොඩක් දියුණු රටවල පිටි කරි පාවිච්චිය අඩුයි කියලා. ඒ ගොල්ලෝ පාවිච්චි කරන්නේ දියර කිරි.

අපේ ගේ කිට්ටුවම තමයි නෙස්ලේ කියන බහු ජාතික සමාගමේ පිටි කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව තියෙන්නේ. මම දන්නවා අපේ ගෙදෙට්ට එහා ගෙදර නීල් අයියා එයාගේ පට්ටියෙන් කිරි එකතු කරන හැටි. එයා ඒවා කල්තබාගන්න රසායන ද්‍රව්‍යයක් දානවා - කිරි ලොරිය එනකම්. ඒකට කියන්නේ කොම්පැනියෙන් දෙන ඇසිඩ් කියලා. මේ ඇසිඩ් එක දාලා තියාගන්න කිරි වලට වතුරත් දාලා දෙනවා සමහරු නම්. ඉතිං ඒ කිරි ඉසිර විදිනයෙන් වියළලා හදන පිටි වල තියෙන්න පුලුවන් මොනවද කියලා ඔයාලම හිතලම බලන්නකෝ. ඊට පස්සේ හොදම වැඩේ කියන්නේ - ගමේ අය ගිහින් කොස් ගස්හන්දියේ කඩෙන් Nestle කියලම කිරි පැකට් එකක් අරගෙන - Lactogen කියලා කිරි සප්පයටත් පැකැට් එකක් අනික් අතේ තියාගෙන, කසිප්පු වඩියක් ගහලා හම්බ කරගත්තු තුට්ටුව වියදන් කරල කඩ පොලේ ඉදන් ගෙදර එන්නේ පුදුම උජාරුවකින්. ගමේ උදවියට නීල් අයට රුපියල් 2 ක් 3 ක් දීලා කිරි බෝතලයක් ගන්න එක මදි කමක්. එහෙම කරන්න ගියාම නීල් අයියටත් පාඩුයි. අපේකම සල්ලි වලට ගත්තු බහුජාතික සමාගම් අපිටත් හොරෙන් තමයි අපේ ආකල්පත් වෙනස් කරලා අපේ ආදරණීය කලුඇන්ටිලටත් ගරහල - කලු ඇන්ටිලා, රත්තිලා, කලූලා BEEF කරලා, එළකිරි කියන නමත් භාවිතෙන් ඉවත් කරලා - NESTLE, ANCHOR කියල කිරි Brand කොරලා අපේ තාත්තලට අවුරුදු 50 පණිනකොට ඇගේ පතේ හයියත් අයින් කරලා දාන්න කටයුතු කළේ. කියන්නත් ලැජ්ජයි - අපේ අම්මට Anchor නැතුව උදේට නැගිටින්නත් පණ නැහැ. මම දිගටම බෝඩින් වල ඉන්න හුරු වුනා - කම්මැලි කමට කිරි හදන්නේ නැතුව හිටියා. මේ ආකල්ප පරිවර්තනය යන්තමින් වත් දැකපු අවසාන පරපුර අපි. ඉතින් ගව මස් කාපුවම මොකද? කුකුලා හොදනම් හරක නරකද? මීනී මරණකොට ඇයි දිවි නහගන්න බැරි? ගොඩක් අයට මේ ගවයෝ ගැන තියෙන ආකල්පය සාදාරණයි. මොකද මේ සත්තු ඒ ගොල්ලන්ගේ ජීවිත සටනේ සහකරුවෝ වෙලා නැහැ කවදාවත්.

ඉතිං කලු ඇන්ටි නැති වුනා වයසට ගිහින්. මට මතකයි කලු ඇන්ටි එක තැන් වෙච්ච හැටි. වත්තේ වැඩ කරන චාලිං ආත්තා මහතුං තුංග අබේ ඔක්කොම ඇවිත්. මේ ගොල්ලේ හරක් සාත්තරේ දැනං හිටපු අන්තිම කට්ටිය. චාලිං ආත්තා අලි මන්තර - කිඹුල් මන්තර අනන් මනන් මන්තර ඔක්කොම දන්නවා. එයා නොදන්න බෙහෙතක් නොඅදුනන පැලයක් නැහැ. මේවා ගැන දැන් අය කොහොමවත් විශ්වාස කරන්නේ නැහැ. අන්තිමට කරුත් හිටවල මේ එළදෙන කෙලින් තියල බෙහෙත් කරලා කරලා -අන්තිම දවසේ මම පේර කොල කොටලා බෙහෙතක් හදල කලු ඇන්ටිට පෙච්චා. ඒත් කලු ඇන්ටි බිව්වේ නැහැ. කලු ඇන්ටි කාලාක්‍රියා කරා. ඒ මම හොදටම හොරෙන් අඩපු එක දවසක්. එයාගේ පැටියා මොරනකොට දඟ නිසා තාත්තා හදන්න බැහැ කියලා කවුද මනුස්සයෙකුට දුන්නා. උන්දෑ මොනවා කලාද කියල මම දන්නේ නැහැ. නමුත් මම දන්නවා - අපේ ගෙදර විතරක් නෙමෙයි ගමේ ගොඩක් ගෙවල් වල හරක්ට හරිම ආදරෙන් ගෞරවෙන් තමයි සැලකුවේ. හරක් මස් ගෙදරකට නෙමෙයි - අහලකටවත් ගත්තේ නැහැ. අවුරුද්දට නාවලා කොහොඹ තෙල් ගාලා - නාස් ලණු මාරු කරල ගෙජ්ජි එල්ලලා - හරිම ආඩම්බරෙන් තමයි හරක් කණු කරලා තියන්නේ. ඒ ගොල්ලොත් එහෙමමයි. මේ සත්තු හරිම බුද්ධිමත්. තමුන්ගේ හාම්පුතා හොදට අදුනනවා - හාම්පුතාට හරිම ආදරෙයි. අපිත් මැක්ඩොනල්ඩ් එකට ගියාම, Queens එකට ගියාම, ඔය සබ්මැරීන් - අනන් මනම් කොත්තු කියපුවාම - BEEF කියද්දි කටටත් කෙල උණන තරමට අපේ ආත්මාර්තකාමී සංවේදී නොවන ආකල්ප වෙනස් වුනාට තාම සමාජෙ ඉන්නවා පිරිසක් මේ සත්තුන්ට ආදරය කරන. ඒක තමයි මම මේ හාමුදුරුවන්ගේ මරණයෙන් දැක්ක දේ.

මම හිතන්නේ හරක් මරණ එක හරිද මස් කන එක වැරදිද ඒක ජාතිවාදීද නැද්ද සංස්කෘතියට එකගද නැද්ද කියලා හොයන එකේ තේරුමක් නැහැ. අපිට වෙච්ච දෙයක් ආපහු හරවන්න බැහැ. ඉන්ද්‍රරතනහිමියන් ආයෙත් නැගිට්ටවන්නත් බැහැ. නමුත් මම කැමතියි හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනය මේ රටේ ප්‍රායෝගික යථාර්ථයක් වෙනවනම්. මට මතකයි මෑත පහුගිය කාලයකදි රූපවාහිනියෙන් ගියා දැන්වීම් එළ කිරි බොන්න කියලා. හැමදාම මේ රටේ නායකයෝ ප්‍රතිපත්ති හදන උදවිය කරන්නේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහන එක. වැරදි බොරු ජඩ වෙළද දැන්වීම් දාන්න දීලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරෝලා - ගොම කැතයි, කිරි කැතයි, හරක් ගදයි, එළකිරි සෙමයි - කියන පුහු ආකල්ප සමාජය තුල වපුරලා වපුරලා දැන් එළ ගවයෙකුත් දකින්න නැති තැන කියනව එළකිරී බීලා Gym පලයල්ලා කියල තරුණ පරපුරට. ඉතින් එහෙව් රටට ගවයා - ගවයාගේ උපයෝගිතාවය, උගෙන් ජාතික පෝෂණයට ලැබිය හැකි අමිල දායකත්වය පිළිබද හිතල, මීට වඩා අවබෝධයෙන් කරුණු කාරණා දිහා බලලා කටයුතු කරන්න තරම් ණුවණක් පාලකයින්ටත් පහල වෙනවනම් උන්වහන්සේගේ ජීවිත පූජාව ජාතීවාදී හෝ පලවිරිහිත හුඹස් ක්‍රියාවක් වෙන එකක් නැහැ කොහොමටවත්...

1 comment:

  1. කියව තිබ්බට මේකෙත් කියෙව්වා නිසා කොමෙන්ට් එකක් දානවා ඔන්න

    ReplyDelete