Wednesday, October 2, 2013

දෙමව්පියෝ දරුවෝ සහ ගුරුවරු

හත වසර සහ අට වසර - මම හිතන්නේ මේ දවස් තමා මගේ ජීවිතේ බලුම කාලේ. මේ දවස්වල මගේ ලොවේ වීරයෝ රගර් ප්‍රැක්ටිස් කරන අයියලයි - අපේ පන්තියේ රගර් ප්‍රැක්ටිස් යන සෙට් එකයි. පන්තියේ අන්තිමයෝ දෙන්නාම හිටියේ මගේ ලඟ. මාත් නොම්බරේ 20 – 30 අතර. ඉතින් අපේ කටේ ඒ දවස්වල තිබ්බේ කුණුහරුප. මමයි වන්නියි ලියනගේයි - එක ලඟ එක ඩෙස්ක් තුනේ අන්තිම පේලියේ. ලියනගේ තමයි ඉස්කෝලේ හිටපු ඒ වයසේ ශරීරයෙන් ලොකුම ළමයා. ඊ ළඟට වගේ ලොකුම එකා වන්නි. මේ දෙන්නම රගර් ප්‍රැක්ටිස් යනවා. මම නොගියත් මට පුදුම ආසාවක් තිබුනේ මුන් එක්ක හවසට ප්‍රැක්ටිස් යන්න. මට යන්න බැරි වුනේ අපේ ගෙදර ඉස්කෝලෙන් ගොඩක් දුර නිසාත්, බස් එකේ හවස් වෙලා ගෙදර එන්න බැරි නිසාත්, අතේ සතේ නැතුව ගෙදර මැෂිම යන්තමින් දුවපු නිසාත්.

ඉතිං අපේ පන්ති වල කොල්ලෝ විතරයිනේ. මේ දවස් වෙනකොට සමහර කොල්ලොන්ගේ උගුරු ගැටේ පෑදිලා කට හඩ වෙනස් වෙලා අහවල් ශාරීරික විපර්‍යසය වෙන්න පටන් අරන්. ඉතිං මගේ යාලුවොන්ගෙත් එහෙමයි. කකුල් වල මයිල් එනවා - කටහඩ වෙනස් වෙනවා, උරපතු ලොකු වෙනවා, බොඩි බිල්ඩින් ගැන කතා වෙනවා, ගෑනු ළමයි ගැන කියවනවා - හරි සෙල්ලන්. මේ කාලේ අපි තුන්දෙනාගේ විනෝදාන්සය වුනේ පුලුවන් තරම් කුණු හරප කියන එක. ඉතිං ඉස්කෝලේ කුණුහරප කියලා කියලා ගෙදර ගියත් මගදිත් වැරදිලාමයි කුණුහරප කියවෙන්නේ. අත ගත්තොත් ඉස්සුනොත් කුණුහරප සංඥාම විතරයි කියවෙන්නේ. අපේ ගෙදෙට්ට යන එන අක්කා කෙනෙක් එක්ක රණ්ඩු වෙලා මොනවට හරි එයා මට මොකක්ද කිව්වා. ඇහුනෙත් නැහැ. මට මලපැන්නා - එයා අම්මටත් කිනනව කියලා මට දාගෙන බනිනවා. මම දෙපාරක් හිතුවේ නැහැ. අත් දෙක එකට කරලා එකක් අනික් පැත්තට හරොලා ගහලා කිව්වා - අම්මට කියපන්, මම බය වෙයි කියලා. මම මේකේ තේරුම ඇත්තටම ඒ කාලේ දන්නේ නැහැ. අක්කා ගිහින් අඬ අඬ අම්මට කේලම කියලා. අම්මගේ දෙලොව රත් වෙලා. මේක දැන්නම් ගන්න දෙයක් නැහැලු. මග්ගොන දක්කන්න වෙයිලු. හොදටම පොරියල් දීලා දවසක් රෑ එළියට දාලා වහලා - පහුවදා ඉස්කෝලේ ගියෙත් නැහැ. මගේ යාලුවොත් එහෙමයි. මුන් සයිස් එකෙන් ලොකු නිසා මිස්ලත් ටිකක් බයයි ඇත්තටම ලංවෙන්න. අන්තිම පේලියට සෙට්වුන නිසා - ලියනගේද කොහෙද හිතුවා අනිත්වුන් ඩෙස් මාරු කලාට අපි ඩෙස් මාරු කරන්න ඕනේ නෑ කියලා. හොද අදහස. පට්ප fun එකේ ඉන්න පුලුවන්නේ - අපිත් එකඟවුනා. එදා ඉදන් අනිත්වුන් මාරු වුනාට අපි මාරු වෙන්න ගියේ නැහැ. මුලින්ම පැමිණිලි ගියා. පස්සේ වැඩේ සෙට්ල් වුනා. අපිට අවශ්‍ය වුනේ මෙතන අපේ හැටියට සෙල්ලම් පිටියක් දාගන්න. පෑන් ගැහිල්ල, කාසි වලින් කැරම් ගැහිල්ල තමයි මුලින්ම අපේ සූදු පොලේ ගියේ. පස්සේ අපි සියඹලා වලට බල්ලෝ මාරු කරන්න, මාලුන්ට කවකටු, කොණමාන - මුද්දර මාරු කරගන්න, මට්ටමට ව්‍යාපාර දියුණු කරගත්තා මේ පිටිපස්සේ පේළියේ ඉදන්. අපිට හිතුනා මේ පරණ සෙල්ලම් හරියන්නේ නැහැ කියලා. මායි ලියනගේයි එකතු වෙලා ඩෙස් එක කවකට්ටෙන් හාරන්න ගත්තේ අපිට කියලා ගුවන් යානයක පාලන මැදිරියක් හදාගන්න. අන්තිමට කොහොම හරි ඩෙස් එක මැද්දේ හිලක් විදලා පැලැටිග්නම් කූරක් මැද්දට දාගෙන අපි - Cock Pit එකක් හදා ගත්තා. නෙස්ටමෝල්ට් ඇඩ් එකේ වගේ ලියනගේ තමයි - පාලක නියමුවා, මම සහය නියමුවා. මේක තමා පන්තියේ හිටපු පැය 5 ම අපි කරපු සෙල්ලම. මම පාසැලේ දෙන සටහන් ලියනඑක නැවැත්තුවා ඒ අවුරුද්දේ. මිස්ලා උගන්නන කිසිම විශයක සටහන් ලිව්වේ නැහැ. කම්මැලියි. කවුරු හරි සර් කෙනෙක් ඇවිත් බලෙන් බලන ඒවා විතරක් උදේට ඇවිත් කාගෙන් හරි ඉල්ලන් කොපි කැට් ගහනවා. ඒ වගේම තමයි මගේ - යාලුවෝ. මේ යාලුවන්ට අපිට ඉංග්‍රීසි උගන්නන්න සෞඛ්‍ය උගන්නන්න එන ලස්සන ටීචර්ලට වයස වෙනස් වීමත් එක්ක දැන් දැන් ආදරේ හිතෙන්න පටන් අරන්. ටිචර්ට අපි ආදරේට කිව්වේ MTV කියලා. මගෙ තව යාලුවෙක්ටනම් ටීචර්ව ටොයිලට් එකට ගියත් තනි කරන්න ලෝභයි. සමහරු කවිත් ලියනවා. මුන් කවි ලියන්නෙත් ඉංර්‍ගසියෙන් - හැබැයි මුන්ට ඉංග්‍රීසියෙන් නම ලියන්න බැහැ ඒ වෙනකොට. මේ කාලෙද කොහෙද තමයි අපි අර තට්ටුව යට තියෙන පත්තරත් බලන්න කුතුහලයෙන් හිටියේ. ඒවා ගත්තු හැටියි - ගන්න ගිහින් වෙච්ච දේවලුයි පස්සේ ලියන්නම්කො. කොල්ලෝ මේ පත්තර බලන්නේ ලොකු ඉංග්‍රීසි පොත ඇතුලේ දාන්. පත්තරයක් ආපු ගමන් උණු කැවුන් වගේ - පිටු ටිකට පන්තියේ ඇතුලේ වෙන දෙයක් නැහැ. තප්පරේට පත්තරේ බෙදෙන්නේ හිතාගන්න බැරි වේගෙන්. ටීචර්ල නැතත් එදාට පන්තිය නිහඩයි. පිටිපස්සේ පොලිමම ඉංග්‍රීසි පොත පාඩම් කරනවා. ඉංග්‍රීසි ටීචර්ටත් හරිම සන්තෝසයි. මේ කාලෙම තමයි - ඔය මදන මොදක (කාමේෂ්වරී රසායන) - අහරෙ මෙහෙත් පන්තියේ මාරි බිස්කට් එක්ක කැරකුනේ. මේවා දන්න කීප දෙනයි පන්තියේ ඒ කාලේ හිටියේ. මුන් බොරුවටත් එක්ක හිනා වෙනවා - කවුරුත් දන්නේ නැහැ - ඇත්තටම මොනවද වෙන්නේ කියලා. එකෙක් වමනෙත් දැම්මද මන්දා ...

ඉතිං ඉස්කෝලේ ඇරුනට පස්සේ අපි දඩයමේ යනවා. ඇත්තටම මම යන්නේ school van එකේ සෙට් එකත් එක්ක කඩවලට. අපිත් එක්ක රගර් ගහන අයියා කෙනෙක් හිටියා - එයා තමා මේ කණ්ඩායමේ නායකයා. එයා කියන්නේ අපිට නැත්නම් අපි හොරකම් කරගන්න ඕනේ. ඒකේ වැරැද්දක් නැහැ කියලා. ඉතිං මුලින්ම යන්නේ co-op එකේ කඩේට. මේ කඩේ අංකල් කොණ්ඩෙ වවලා - කුරුල්ලෙක් වගේ. හරිම හිතවත්. මට මුකුත් හොරකන් කරන්න හිතෙන්නේ නැහැ. ඒක හින්දා මම කවර් එක දෙනවා විතරයි. කොල්ලො පොර කකා බඩු වල ගනන් අහනකොට අපේ අනික් සෙට් එක කඩේට සුද්දේ දෙනවා. ෆැන්ටා කොකා කෝලා වගේ බීම බෝතල් - චොකලට්, චීස්, ටොපි, බිස්කට් තමයි අපේ ටාර්ගට්. හැබැයි මට මේවා වැඩක් නැහැ - මම ආස විසිතුරු මාලුන්ට. මම හැමදාම මේ වැඩේට කවර් එකෙන් සපොට් දෙනවා විතරයි. අනික් එක මට හරි බයයි කඩවලට මාට්ටු වෙලා තාත්තා නිව්ස් එක යයි කියලා. අපේ හිටියා කොල්ලෝ - ලගින් ගියොත් ඇහැක් නැහැ. ඩුස් ගානකොට උස්සලා - අපිවත් දන්නේ නෑ සමහර වෙලාවට. කුරුණෑගල ඉස්කොලේ ඉස්සරහ Co-OP City එකෙන් සුලුවට පටන් ගත්තු මේ වැඩේ අපි ටවුමේ ගොඩක් ප්‍රසිද්ධ කඩවලට ව්‍යාපත්ත කලා මාස දෙක තුනක් වගේ කෙටි කාලයක් ඇතුලත. ඒ වගේම හොරකන් කරන ඒවා වෑන් එකේ ඉද හිට හැමෝටම බෙදුවත් මම කන්න යන්නේ නැහැ - භය නිසා. කොහොම හරි මේ දවස්වල මට ඕනේ වුනේ මාලු කූරි දෙන්නෙක් - gold fish වර්ගෙන් හොරකම් කරගෙන ගෙදර ගිහින් හදාගන්න. ඉතින් අපි මේකට ක්‍රමයක් කල්පනා කලා. මට මාලු ගන්න සල්ලි නැහැ.

සල්ලි තියෙන කොල්ලෙක් මාලු ගන්න දවසක් බලලා සෙට් කරගෙන හිටියේ. ඊට කලින් අපි ට්‍රේනින් හොරකන් ටිකක් කලා. ඒ තමා මාලු ටැංකියකින් අලංකාර විසිතුරු ජලජ ගස් කොහොමද හොරකන් කරන්නේ කියලා. සෙට් එකම යනවා. කට්ටිය පොරකකා මාලු ඇන්ටිව වටකරන් මාලුන්ගේ ගනන් අහනවා. කොල්ලෝ හතක් අටක් නිසා එයාට කිසිම දෙයක් පේන්නේ නැහැ - ළමයි රැස් කකා එක පොදියට මාලු බලනකොට. එකෙක් විතරක් ඇත්තටම මාලුත් ගන්නවා. ඒ ඇසිල්ලේ කඩේ ඇන්ටිගේ අවදානය ගිලිහෙනකොට පිටිපස්සේ ඉන්න කොල්ලෝ කඩේ බඩු වලට සුද්දේ දෙනවා. මේක තමයි අපේ game Strategy එක. මමත් පිටිපස්සේ තිබ්බ මාලුටැංකියක තිබ්බ පාසි pot එකක් හොරකන් කරගෙන පිටිපස්සේ ගහගත්තා - මේකෙන් වතුර බේරෙනවා. වතුර පෙරෙනවා දැක්කොත් බඩු මාට්ටු. අහවල් අයියා ඇවිත් ටක් ගාලා එයාගේ ලේන්සුව ඇල්ලුවා. එයා මේ සබ්ජෙට් එකේ එක්ස්පර්ට්. වතුර බේරෙන එක නැවතුනා. වැඩේ ගොඩ. පාසි ගස් හොරකන් කරන් යනකොට මෙන්න බොලේ මගේ පන්තියේ යාලුවෙක් එනවා ඒ ගෙදෙට්ට. හිතට අප්සෙට්. යකෝ මුන්ගේ ගෙදරින් හොරකන් කරන්න බෑනේ. බලමු ටවුම මැද්දෙ හොද මින් මැදුරක්. Girls එක ඉස්සරහා තිබ්බා Siko Inn කියලා සාප්පු සංකීර්ණයක්. මේකේ තමා ඒ දවස්වල සාර්ථකම මින් මැදුර. පාට පාට විසිතුරු මාලු පිරිලා. ලයිට් දාලා. ටැංකි ඇතුලේ එක එක වතුර filter – oxygen අයිටම්ස් - ගිහාම එන්න හිතෙන්නේ නැහැ. අපේ ඉස්කෝලේ ඉදන් එතෙන්ට 2 km තියෙනවා. ඉස්කෝලේ තාප්පේ බූ ඇලෙන් බැන්නෝත 1 km නැහැ. කොල්ලෝ සෙට් එක දවස් දෙක තුනක් මෙතන රෙකේ දැම්මා. මෙන්න final දවස. එකෙක් රු 40 ක විතර මාලු ගත්තා. මම ටැංකියට අත දාලා චූටි මදටිය ඇට විතර ගොල්ඩ් fish මාලු තුනක් විතර සාක්කුවට දාගත්තා. ටක් ගාලා ලේන්සුව අරන් වතුර පිහ ගත්තා. අවුලක් නැහැ. තවත් එකෙක් ගන්න පුලුවන්. දෙවෙනි පාර අත දාන්න හැදුවා විතරයි - මල්ලි කෑ ගහනවා එපා එපා කියලා. මල්ලිට වැඩේ අප්සර්ට්. මගේ Mind set එක හදාගෙන ඉවරයි හොරකම සාදාරණී කරනය කරන්න. ඉතිං මුගේ පණ්ඩිත කමට මට මල පැන්නා - ඇයි මූව මේ වැඩේට සෙට් කරගත්තේ කියලා. මේක එතන හිටපු පොඩි එකෙක් දැක්කා. නමුත් ඒකා කතා කරන්න තරම් වයස නැහැ - අවුරුදු 3 ක් විතර. අයිති කාරයගේ කුඩා දරුවා. ඒකාට හිතාගන්න බැහැ මම මොකද කරන්න යන්නේ කියලා. ඉතිං ලොකු ඇස් කරකෝ කරකෝ මම දිහා බලනවා. මම පොඩි එකාට හිනා වුනා. අවුලක් නැහැ වගේ. ඒකත් හිකි හිකි ගාලා හිනාවෙනව මාලු පෙන්න පෙන්න. දැන් විනාඩිය දෙක යනවා. විනාඩි 5 කට වඩා මාලුවා සාක්කුවේ හිටියොත් මූ මැරෙනවා. මාලුවා මැරුණොත් - මට ජීවත්වෙලත් වැඩක් නැහැ. මම එච්චරට මාලුන්ට ආදරෙයි. මේ මාලු ගැන කිව්වොත් - අපේ ගෙදර වත්ත මැද්දේ ඇලක් යනවා. ඉතිං අපි අම්මලා කොහේ හරි ගිය ගමන් කරන්නේ - ගමේ ගෙවල් ලඟ කොල්ලොත් සෙට් කරගෙන ඇලේ කූඩ ගහන එක. මෙතනින් මාලු අල්ලලා ටැංකියට ගිහින් දාගන්නවා. ටැංකියේ වතුරට වැඩිය මාලු. අම්මලා එනකොට නොදන්න ගානට ඉන්නේ. මාලු මැරිලා සමහර එවුන් බිමට පැනල - ගද ගහනකොට තමයි වැඩේ මාට්ටු වෙන්නේ. අපි ඒ කාලේ හිතුවේ මේ මාලු මැරෙන්නේ ටැංකිවලට හුරු නැති නිසා කියලා. නැතුව මාලු වැඩි කමටයි - ඔක්සිජන් නැති එකටයි කියලා හිතුවේ නැහැ. ඉතිං මේකට එකම විසඳුම gold Fish ජොඩුවක් ගෙනත් දාගන්න එක. කොහෙන්ද ඉතිං රට මාලු ගන්න සල්ලි.

කොහොමහරි ඉතිං මමත් මාලුවා මැරෙන්න නොදී ඉක්මනටම යාලුවො සෙට් එකත් එක්ක කඩි මුඩියේ කඩෙන් එළියට දුවගෙන ඇවිත්, වැඩි දුරක් යන්න බැරි නිසා මාලු මිලට ගත්තු යාලුවාගේ මාලු හිටපු පොලිතින් පැකැට් එක ඇරලා - මගේ සාක්කුවේ හිටපු මාලු තුන්දෙනා වතුරට දාගත්තා. මේක අයිතිකාරයා එළියේ ඉදන් බලාගෙන. මිනිහා දූවගෙන ඇවිත් මාව ඇල්ලුවා. නරකම වෙලාව - විලි ලැජ්ජාවේ බෑ. මේකා school van එකටත් ගිහින් කියලා - ඉස්කෝලේ principal ටත් ගිහින් කියලා - ඉස්කෝලේන් අස්කරපන් කියල පොරේ. දැන් මොකද කරන්නේ. ඉස්කෝලේ හිටපු පල් හොරු සෙට් එකකින් එකෙක් මාට්ටු වෙලා. කොච්චර ඇහුවත් මාත් එක්ක කවුද ආවේ කියලා - අද වෙනකන්වත් මගේ යාලුවන්ගේ නම් කිව්වේ නැහැ. මම දඩුවම් වින්දා. ගෙදෙට්ට කියයි කියලා බයටම ඒ දවස්වල උණ. පන්නලින් බේත් ගත්තා - අඩු නැහැ. ගිරිඋල්ලෙනුත් ගත්තා. කාටවත් කියන්න බැහැ මට තියෙන පීඩනය. මට උපදෙස් දෙන අයියලා කියනවා - මල්ලි කරන වැඩක් හරියට කරන්න ඉගෙනගනින්. දැන් කරන්න දෙයක් නැහැ - අපේ නම් එහෙම කියන්න එපා කියලා. අඬලා අඬලා කිව්වා මයිකල් සර්ට ගෙදරට කියන්න එපා කියලා. ගෙදරින් කිව්වනම් තාත්තා දෙන පෝරියල් හොදටම දන්නවා. තාත්තා දෙන පොරියල් ගැන මගේ ප්‍රාථමික අංශයේ සමහර ටීචර්ලා සමහර වෙලාවට පොඩි කාලේ දන්නේ - මගේ ඇගේ තියෙන වැවිලි හිටින පාරවලුයි, නළල ගෙඩි ගැහිලා අරෙහෙ මෙහෙ තියෙන case පන්තියෙදි නෝට් කරලා. ඉතිං කනිෂ්ඨ අංශභාර මයිකල් සර්, ඉස්කෝලේ ඒ වෙනකන් මගේ හිටපු හැම පන්තිභාර ගුරුතුමියක්ම නඩු විභාගයට ගෙනත් ඇහුවා මම ළමයිගේ දේවල් හොරකන් කරලා කලින් මාට්ටු වෙලා තියෙනවද කියලා. ගුරුතූමීලා හැමෝටම පුදුමයි. හැමෝම කියනවා මම කවදාවත් පන්තියේ ළමයින්ගේ දේවල් හොරකල් කරන්නේ නැහැ කියලා. අනික වෙනස් ජාතියේ හොරකමක්නේ. මෙන්න මේ විදියට තමයි මගේ හොරකම් ජීවිතේ අවසානවුනේ.

මේක ගෙදෙට්ට ආරංචි වුනේ සිද්ධියෙන් මාස හය හතකට පස්සේ අපේ අම්මට වෑන් එකේ ඩ්‍රයිවර් අංකල් කියලා හෙමිහිට. අම්මා එදා එක යුද්ධයයි. ගෙදරිනුත් එළෙව්වා. හැබැයි තාත්තට කිව්වේ නැහැ. අපේ තාත්තගේ තිබුනා හරිම ආවේගශීලී දරුණු ඉතාම කුරීරු පහර දෙන ගතියක්. තාත්ත මට සාමාන්‍යෙයන් ගහන්නේ යකඩ ඉනි, උදලු, පිඟන්, පොලු, පොල් පිති, පිහි - අහු වෙන හැම දෙයින්ම. ඉතිං අම්මත් එහෙමයි. අම්මා - කොසු ඉදල්, පොලු, අහුවුන දෙයින් ගහනවා. අම්මාගේ දඩුවම් සමහර වෙලාවට කොච්චර ආවේගශීලිද කියනවනම් - මම දවස් දෙකක් ගෙදර නාන ළිදටත් වැටුනා - නොමැරී බේරුනා, අම්මා ලිං පඩියට දාලා තිබුණ පොල් කොටේ උඩදි ගහලා. හෙලුබැල්ලෙන්ම මම ළිඳ ඇතුලට ලෙස්සලා වැටිනා. තාත්තට පොල්ලක් කැඩෙන්න මට ගැහුවොත් තමයි හිතට හරි. මේ ගෝත්‍රික ගති තාත්තට ආවේ එයා ඉපදුන ගමෙන් හා පරිසරයෙන්. අපේ අල්ලපු ගෙදර ගෑණු ළමයා අතින් ගෙදරට ගෙනාපු බිත්තරයක් බිදුනට ඒ ළමයාට ඒ ළමයාගේ තාත්තා - අත්දෙකෙන් වහලේ එල්ලලා පොලු වලින් ගැහුවා. බොරු කිව්වා කියලා කට පිච්චුවත් එක්ක. අපේ තාත්තගේ ගමේ වයසක සුගතසාර නායක ලොකු හාමුදුරුවොත් එහෙමයි. ඒ ගොල්ලොන්ගේ බාසාවෙන් කියනවනම් - කොල්ලොන්ට හුජ්ජ යන්න ගහන්නේ. ඉතිං අම්මම මම එදා ළිඳට වැටුන වෙලේ යන්තං තුන්වෙනි පාර උඩ එනකොට අල්ලගත්තා. මම හොදටම බය වෙලා වතුර පෙවිලා, භයටම උණ - මේ මම මරණය ලං වෙච්ච අවස්ථා කීපයෙන් එකක්. එදා අම්මට කකුල අහුවුනේ නැත්නම් අද චරාට මේවා ලියන්න වෙන්නේ නැහැ. එතකොට මම එක වසරේ පන්තියේ. අම්මා ගැහුවේ - Yellow කියන වචනයට ඉංග්‍රීසි අකුරු වැරැද්දුවා කියලා. අනික් පාර ළිඳට වැටුනෙත් අම්මා පිටට ගහලා - මම ළිදේ ඉන්න මාලු බල බල හිටියා - මොකකට හරි යන්න පරක්කුවෙන සිද්ධියක් නිසා, අම්මට කේන්ති ගිහින් - මම දත් මදින්නේ නෑ කියලද කොහෙද. මට මතක නැහැ එදා ගොඩ ගත්තේ කොහොමද කියලා. අන්තිමට Teen Age එකට එද්දි, මේ ගොල්ලන්ගේ නැත්නම් මගේ ආවේගශීලී තරුණ දෙමව්පියන්ගේ මේ ආවේගශීලීත්වයත් මට පාලනය කරගන්න වුනේ - ඒ ගොල්ලන්ට තේරෙන බාසාවෙන්මයි. හැමදාම මම පන්තියේ පහලට වැටනකොට අම්ම හනසු අරන් පොලු අරන් වත්ත වටේ එලෝ එලෝ ගහනවා. මේක මට හරි කරදරයක්. දවසක් මම අට වසරේ. අම්මා කොස්සෙන් ගහනවා පාඩම් කරන්නේ නෑ වෙන පොත් කියවනව කියල. කරන්න දෙයක් නැහැ - ගහනකොට අහුවුන කොස්ස අල්ලගෙන හිටියා. අම්මා කොස්ස වෙරදාල ඇද්දා. වැටියන් කියලම මම කොස්ස අත ඇරියා. අම්මා ගෙම්බා පොලේ ගැහුවා වගේ කොස්සත් අල්ලන් වැටිලා - මල්ලිට කෑ ගහනවා, මෙන්න ලොකු කොල්ලා මට ගහනවෝ කියලා. සද්දෙට අම්මම්මත් දුවගෙන ආව. අම්මා වැටුන ඇසිල්ලට මම - ගැලවිලා දිව්වා. දුවලා හූවකුත් කිව්වද කොහෙද. එතනින් පස්සේ අම්මාගේ Martial Art නැවතුනා. දැන් තාත්තා - 10, 11 වසර වෙනකන්ම හැම මනුස්සයා ඉස්සරහම මාව පහත් කරලා කතා කරනවා, බනිනවා - ගහනවා. දවසක් වත්තේ හරකෙක් වැටිලා වලකට. ගමේ මිනිස්සු ඔක්කොම ඇවිත් - තාත්තා යකා වගේ පැනපු ගමන් ගැහුවා මගේ කනට - බැනලා බැනලා, මම හරකා ගැන බැලුවේ නැහැ කියලා. මම මොනවා කරන්නද?. හිතලා හරකව වලට තල්ලු කලායැ. ඉස්කෝලේ පන්ති ඇරිලත් ආව විතරයි. වෙලාව ගොම්මන් හතට විතර ඇති. දැන් පොඩි එකෙක් නොවෙන නිසයි - ගුටි කාපු එකේ වේදනාවයි, සෙනග නිසා ලැජ්ජාවයි හොදටම වැඩියි. මේ මම ගෙදර එපා වෙලා ගිය එක දවසක් විතරයි. ඒ දවස්වල සතියකට දවසක් අඩුම ගානේ මම ගෙදරින් තරහා වෙලා යනවා - පාර පුරා අඩ අඩ යනවා, පීඩනය දරාගන්න බැරි එකට. යන්න තැනැක් නැති නිසා - මමම ආපහු හැරිලා රූ 12 - එක වෙනකොට හොරෙන් ඇවිත් ගෙයි එළියේ පිළිකන්නක බුදියගන්නවා. ඒ දවස්වල දෙයියෝ බලලමයි - සරපයෙක්වත් නොකෑවේ. එච්චරට කැලේ දුවලා ඇති, එච්චරට කැලේ හැංගීලා ඇති - මේ තාත්තාගේ දඩුවම් වලට බයේ. කඩේට ගිහින් බඩු මල්ල ගේනකොට - ණය බරටම තාත්තා වියරු වැටිලා. මම දැක්කද, වැඩිමලානේ - එයාගේ පීඩනය මට දෙනවා. මොකක් හරි බොරු වැරැද්දක් හොයලා බැනලා පැනලා පැනලා ගහනවා. මට තාත්තාගෙන් ගුටි කාලත් ඇති වෙලා තිබ්බේ. වැඩිමලා නිසා මල්ලි කරන වැරැද්දටත් මට ගහන්නේ - මොකද එයා කොහෙද පොතක කියවලා - වැඩිමලාට දඩුවම් දෙනකොට බාලයෝ හැදෙනවා කියලා. මම මේ වෙනකොට මක්සිම් ගොර්කිගේ මගේ අම්මා, මගේ සරසවි - වගේ පොත් තුන් හතර පාරක් කියවලා. මම බල බල හිටියේ මේ ගුටි වලින් බේරෙන්න ක්‍රමයක්. යන්න තැනකුත් නැහැනේ. අපිට පරම්පරාවේ direct මාමලා, නැන්දලා, බාප්පලා, පුංචිලා නෑදෑයෝ කවුරුත් නැහැ ඒ වෙනකොට - ඉතිං මක්සිම් ගෝර්කිගේ “අම්මා“ පොතේ තියෙනවා - පාවෙල් කොහොමද, එයාගේ ගෙදර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මූණ දුන්නේ - ඒකෙන් අන්තිමට ගැලවුනේ කොහොමද කියලා. මේ බරපතල විප්ලවීය පොත් ගේන්නෙත් අපේ තාත්තා. මම එයාගේ පුස්ථකාලේ හැම පොතක්ම පොඩි කාලේ ඉදන් කියවනවා. පාවෙල් දවසක් අවුරුදු 16 දි - තාත්තා යකඩඉන්නෙන් ගහනකොට පාර වලකලා තාත්තට ගහනව - බීලා වදදෙන නිසාද කොහෙද. අපේ තාත්තා බොන්නේ නැහැනේ. කොහොමටත් තාත්තට ගහන්න හිතන්නවත් මට හිත දෙන්නේම නැහැ. මගෙත් වයස අවුරුදු 16ක්. වැද්දෙක්ගේ වගේ රුවුල් කෑල්ලකුත් වැවෙනවා. මොකක් හරි එකකට තාත්තා එනවා උදැල්ල අරන් - මම දන්නවා, මට දැන් මග අරින්න බැහැ. අනිත් පැත්ත බලන නිමේශයෙන් තාත්තා ගහනවා කියලා. මගේ අතේ යකඩ ඉන්න තිබ්බේ. වෙනදනම් දුවනවා. තාත්තා හිතුවේ අදත් දුවයි කියලා. මම තීරණයක් ගත්තා. දැන් දුවන්නේ නැහැ. මමත් වත්තේ වලක් හාරන ගමන් - මමත් යකඩ ඉන්න හොදට හයියෙන් අල්ලගෙන කිව්වා, තාත්තේ මට ගහන්න එපා - මම වැරදි වැඩ කරලා නැහැ. මගේ අතේ තියෙන්නේ යකඩ ඉන්න කියලා. තාත්තගේ පරුෂ වචනටිකයි ආවේගයයි - එක පාරට නැවතිලා, උගුරත් හිර වෙලා කටේ තිබ්බ කුණුහරප වචනත් පැටලිලා උදැල්ලත් එක්කම එහෙමම නැවතුනා. එදායින් පස්සේ තාත්තා ප්‍රසිද්ධියේ නෙමෙයි - ශාරිරීක දඩුවම් වලින් වැලකිලා කලකිරීමෙන් හිත හදාගත්තා. පස්සේ තාත්තා ඉගෙන ගෙන ආවේගශීලි නොහික්මුණු මේ ශාරීරික දඩුවම් දරුවෙක් හදන්න එච්චරම යෝග්‍ය ක්‍රම නෙමෙයි කියලා. මොකද දඩුවම දිය යුත්තේ වැරදි ක්‍රියාවට මිසක් - දරුවට නෙමෙයි කියන පණිවිඩයත් දඩුවම අතරම දරුවගේ මනසේ රැදවිය යුතුයි. ආවේගශීලි ක්ෂණික ප්‍රෙකා්පකාරී දඩුවම් වලින් දරුවා දකින්නේ මේක Personality Conflict එකක් මිසක් - වරදට දඬුවමක් විදියට නෙමෙයි... එයින් වෙන්නේ දරුවාත් ප්‍රෙකා්පකාරීව කරපු වැරැද්ද නැවත වරක් කරන්න රහස්‍ය SMART ක්‍රමයක් හොයාගන්න එක.

මේක බලන කවුරුහරි හිතන්න පුලුවන් මගේ දෙමව්පියෝ කුඩා කාලේ ආදරයක් තෙතමනයක් තිබ්බේ නැහැ කියලා. ඇත්තම කතාව ඒක නෙමෙයි. අපේ දෙමව්පියෝ එච්චර බුද්ධිමත් නැහැ දරවෙක්ගේ සුන්දර Teen Age එක ගැන. ඒ වගේම සමාජයෙන් නෑදැයන්ගෙන් ගමෙන් නගරෙන් ඒ ගොල්ලෝ ආශ්‍රය කරන මිතුරන්ගෙන් දැනුමක් ආවේත් නැහැ, කොහොමද තමුන්ගේ EGO issues handle කරගන්නේ කියලා - දරුවෝ ලොකු වෙනකොට, ඒ වගේම පවුල ලොකු වෙනකොට. මේ ගොල්ලෝ දරුවට තියෙන ආදරේ කියලා දකින්නේ ඒ ගොල්ලන්ගේ අහිමි වුනු බලාපොරොත්තු දරුවන් විසින් ලඟා කරගන්න එක. අම්මා හරිම ස්ව අවතක්සේරුවකින් ජීවත්වුනේ එයාට ඉංග්‍රීසි ඉගෙනගන්න බැරිවුනා - වැදගත් රැකියාවක් කරන්න බැරි වුනා කියලා. තාත්තා දුකෙන් හිටියේ එයාට ප්‍රෙමා්ෂන් නැත්තේ - හොද ආර්ථිකයක් හදන්න දරණ ප්‍රයත්න දිනාගන්න බැරිවුනේ කැම්පස් යන්න බැරිවුන නිසා කියලා. අද මම උපාධි තුනක් හතරක් කරලත්, ඉංග්‍රීසිත් සම්මතයේ උපරිමේට ඉගෙනගෙන - මටත් බැහැ එකපාරටම සුරංගනා ආර්ථිකයක් හදාගන්න. මේවා මුකුත් නැතුව හොද ආර්ථික හදපු වුන් ඕන තරම්. එහෙම හදපු එවුන් ගඩොල ගඩොල හිමි හිට තිය තිය මහන්සියෙන් තමයි ගොඩදාගෙන තියෙන්නේ කාලයත් එක්ක ඉවසීමෙන්. ඉතිං මේ දෙන්නම මායාකාරී වෙලඳපොල ආර්තිකයන් හා සමාජරටා බලමින් නානාවිධ temptations ඇතිකරගෙන අසම්පුර්ණ ලෙස ලබා දීපු ප්‍රායෝගික නොවූ නිදහස් අධ්‍යාපනයයි අරවයි මේවයි ඔක්කොම පටලගෙන - තමුන්ගේ අභිලාෂයන් හැදෙන්නේ කොහොමද? ඇත්තම හරිවැරැද්ද මොකක්ද? තමුන් ස්වාදීනව පවුලක් නඟාසිටුවගන්නේ කොහොමද ? - කියන උහතෝකෝටික ඉදිරියේ නිවැරදිම මඟ මොකක්ද කියලා තෝරාගන්න අසමත්ව අතරමං වෙච්ච අහිංසක තවත් එක් ගොදුරු යුවලක් 1990 දශකයේ. තමුන්ට ලඟාකරගන්න බැරිවුන පැතුම් දරුවා කරා කොහොම හරි ලබාගන්න එක තමයි මගේ අහිංසක අම්මගෙයි තාත්තගෙයි එකම අභිප්‍රාය වුනේ. ඉතිං තාත්තට දරුවෙක් සතුටුවෙන දෙයක් ගැන කිසිම හැඟීමක් නැහැ - විශේෂයෙන්ම teen age එකේ. එයාට ඒ ගැන දැනගන්න නෑදෑයෝ මිත්‍රයෝ අාශ්‍රය කරන්නෙත් නැහැ ඒ කාලේ - හීනමානයයි පොරසිටි එකයි නිසා. ඉතිං තාත්තා දරුවෝ ගැන, නැත්නම් Teenagers ගැන මොකක් හරි දෙයක් යන්තම් හරි දැනගත්තනම් වැඩිමල් දරුවගෙන්ම තමයි. Teen age එකේ මේ සමනල ගති වලට, ඇදුම් පැළදුම් අදින්න, ක්‍රිකට් ගහන්න යන්න - සෙල්ලම් කරන්න යන්න, යාලුවෝ හදාගන්න, චිත්‍ර අදින්න තිබුණ ආසාවන් අම්මා තාත්තා දැක්කේ ළමයින්ගේ විනාසයට හේතු විදියට. මට මතකයි මම cricket බැට් එකක් නැතුව - ඒකකට කොච්චර ආසාවෙන්ද හිටියේ කියලා. තාත්තා මට බැට් එකක් ගෙනත් නොදුන්නේ - ගන්න මුදල් නැති කම නිසා විතරක්ම නෙමෙයි. ඔය කාලේ ඉස්කෝලේ ගියත් ඉතිං මට කොල්ලෙක්ගෙන්වත් බැට් එකක් ඉල්ලන් ට්‍රයි කරන්න ලැජ්ජයි. බැට් බෝල් ගේන එකාට හරි හොදට පුලුවන් එකාට හරිනේ තැන එන්නේ පන්තියේ. මට මතකයි මම කොස්ලී බාල්කයක් කපලා - පිහියෙන් සුද්ධ කරලා, යත්තක් හොයාගෙන ගාලා චාලිං ආත්තත් එක්ක එකතු වෙලා බැට් එකක් හදාගෙන මල්ලි එක්ක විතරක් ක්‍රිකට් ගැහුවේ. ඌ බෝල් කරනවා. Keeper ලා නැහැ. Batman ගිහින් බෝලේ අහුලන් එනවා. මේ බැට් එක සාමාන්‍ය බැට් තුතක් විතර බර - ගමේ හැමෝම එක්ක තාත්තා ඒ කාලේ තරහයි. ඒ කාලේ අපේ වත්තට නිතරම පොල් කඩන්න හාවෝ මරන්න, පුවක් කජු ගොවිතැන් හොරකන් කරගන්න, වැට ඉන්න - කෙහෙල්කැන කපාගන්න ඇහැ ගහගෙන හිටපු ගමේ සමහර මිනිස්සු පාලනය කරගන්නත් තාත්තාට අමරුයි. මොකද දන්න එකම ක්‍රමය - Head to Head – Strategy තමයි. ඉතිං හැමදාම වලි. ඒක නිසා - ගමේ ළමයි ආශ්‍රය කරන්නත් යන්න දෙන්නේ නැහැ. තව අද ඇහුවත් ඒ ගොල්ලෝ කියන්නේ - මේවා කරපු නිසා තමයි උඹලා ඉගෙන ගත්තේ කියලා. මොකද මේ පොරත්වය නැත්නම් Ego ඇගට කාවැදුනාම - තමුන් කරන දේ හරිම කියලා තමයි හිතන්නේ. මොකද ඒවගේ ආදීනව හරි වැරදි කතා කරන පුරුද්දක් හෝ අහලා දැන ගැනීමේ - නිවැරදි කරගැනීමේ ක්‍රමයක් ඒ ගොල්ලෝ දන්න සංකෘතිය ඇතුලේ නැහැ. ආවේගය - ඒ ගමන්ම පිට කරලා දානවා. මම තමා හරි. ලෝකේම වැරදියි. ඉහ තිබ්බ තැනට කර ආවට මුන් මොනවද දන්නේ !!! හැම ආවේගයම ඇගෙන් තමයි පාලනය කරන්නේ. Emotional Intelligence, කියලා එකක් නැහැ. දුටු තැන - දුබලයාට පහර දෙනවා. Outcome එක ගැන post mortem එකක්, නැත්නම් assessment එකකුත් නැහැ. ඒක නිසාම ඒ ගොල්ලන්ට දෙයක් තේරෙන්නේ ඒගොල්ලෝ දන්න බාසාවෙන් කිව්වොත් විතරයි සමහර වෙලාවට. තමුන් අතින් වෙච්ච වැරැද්දක් නිවැරදි කරගන්න එක ලොකුම ලැජ්ජාවක්. ඒක නිසා ඒකට ලොකු දෛරයක් අවශ්‍යයයි. ඒක ඒ ගොල්ලො ලඟ නැහැ. ඒ නිසාම ඒගොල්ලන්ගේ Learning Curve එක හරිම flat. හැබැයි ඇහුවොත් කියන්නේ ඒ ගොල්ලන්ට විතර අත්දැකීම් කාටවත් නැහැ. ඒක ඇත්ත. හැබැයි මේ ගොල්ලෝ ඒ වටිනා අත්දැකීම් වලින් දෙයක් ඉගෙනගෙන නැහැ. ඒක ඒගොල්ලන්ගේ ජීවිත වලට ලොකු පාඩුවක්. මොකද ඉගෙන ගන්නේ නැති නිසා - වෙනස් වෙන්නේ හෙමින්. නම්‍යශීලි බව නැතිව අනික් අතට අපි සියලු දේ වයස නිසාම දන්නවා කියලා හිතං හිටියොත් - අපේ ජීවිතේ නියම ප්‍රීතිය, සැනසිලිදායක බව සහ සතුට අපි කෙරෙන් සමහර විට ඈත් වෙනවා සියලු භෞතික සැප සම්පත් ළඟා කරගත්තත්. මේක අපේ සංස්කෘතිය තුල තියෙන පිලලයක්. දියුණු ජාතීන්ට සාපේක්ෂව අපි අපේ වැරදි දෙස බලනවා අඩුයි. නමුත් අනිකාට චොදරනා කරනවා. කට්ටක් ඇනගත්තොත් කියන්නේ - කට්ට ඇණුනා කියලා. එතකොට වැරද්ද බිම තිබ්බ කට්ටේ. තමුන්ගේ අපරික්ෂාකාරී බවේ නෙවෙයිනේ !!!. පර සුද්දෙක් මේක කියන්නේ - I ran over thorn කියලා. ඌ වැරැද්ද තමුන්ම බාර අරගෙන ඊ ලඟ පාර නිවැරදි වෙනවා. ඉතිං අපේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති බැලුවත් - සැනසිල්ලේ සතුටින් ඉන්න ජාතියක් හදන්න, සාමය පුද්ගලයාතුලට කාවද්දන්න අවශ්‍ය ආකල්පමය හා සංස්කෘතික වෙනස්කම් ගැන අපි අපේ අධ්‍යාපන ක්‍රමයන්නම් කවදාවක්වත් හදාගන්න එකක් නැහැ. අද තියන සංස්කෘතිය ඇතුලේ - අපි නොදැනුවත්ව ඉගෙන ගෙන තියෙන්නේ එකිනෙකා සන්සන්දනය කරමින් නොලද දේ ලංනොවුන දේ ගැන හූල්ල හූල්ල - ලද එවුන් ගැන ඉරිසියා කර කර උන්ට පද පද හද දුකෙන් ඉන්න ක්‍රමයක්. කොළඹ AC කාර්යාල වලට ගියත් - ගමට ගියත් ඒක තමා ලංකාවේ ක්‍රමය. තමුන්ගේ මහන්සියෙන් ස්වසක්තියෙන් පුලුවන් තරමට පුලුවන් උපරිමය කරලා ගන්න දෙයින් උපරිම සතුටු වෙන ක්‍රමයක් - Celebrate කරන ක්‍රමයක් අපි හිතන්නේ නුසුදුසුයි - උද්දච්චයි, සෝබනයි කියලා.
කතාව ඒක නෙමෙයිනේ. මම මාලුන්ට හරිම ආසයි. දැනුත් ගෙදර ටැංකියක් තියෙනවා. ඒ වගේම ලොකු පොකුණක් තියෙනවා - මගේ දෑතින් අවුරුදු 7 ක් පුරාවට විතර කපපු. ඒකේ මම ඇති කරන්නේ ලංකාවේ indigenous මාලු. ගොඩක් අය අපේ ගෙදර ආපුවම ඔය පොකුණ ලඟ තමයි සෙට් වෙන්නේ. දැන් හරිම ලස්සනයි මෙතන. කුඹුක් ගස් - පුවක් ගස්, නා ගස්, ලස්සන බට පදුරු - මල් පදුරු මේක වටේට. කවුරැත් විශ්වාස කරන්නෙත් නැහැ - ඒක මම උදැල්ලෙන්ම විතරක් කපලා, ඒ හැම ලොකු ගහක්ම මම අවුරුදු 15 කට විතර කලින් හිටොපු පැල කියලා. ඉතිං මට කුඩා කාලේ මාලු ජොඩුවක් ගන්න සල්ලි නැහැ. අම්මගෙන් ඉල්ලන්නත් බැහැ. නංගි ඉපදුනා විතරයි. ගෙදර ආර්ථික මැෂිම කර කර ගගා දිව්වේ. හැමදාම කචල්. කොහොම හරි එදා හිටපු ප/භා/ගු ගුරුතුමීගේ හොද කියන්නේ - ඒ ගුරුතුමිය මම පාසැලෙන් පිට වෙනකම්ම මේක රහසක් විදියට රැක්කා. හැබැයි කාටත් නොතේරෙන්න උගන්නන ගමන් නොන්ඩිත් කලා. කිසිම ළමයෙක්ට නොකියපු නිසා මම පාසැලේ Bulley වුනේ නැහැ - අනික් ළමයින්ගෙන්.

එදායින් පස්සේ මගේ වංචා මම සීමා කරා බස් එකේ ටිකට් ගැන ඇහුවේ නැත්නම් සද්දනැතුව යන පුරුද්දට විතරක්. ඒකත් රස්සාවට ගියාට පස්සේ මතක් කරලම සල්ලි දීලා යන්න ඉගෙනගත්තා - මොකද රුපියලක් හම්බ කරන්නත් තියෙන අපහසුව අත්දැකපු නිසාම. හැබැයි A/L වලදිනම් මුල අවුරුද්ද දෙක Hall Class ටියුෂන් වලට කාඩ් නැතිව ගියා. ඔක්කොම යන්නේ එකම කාඩ් එකෙන්.. ඒකටත් බැටේ හම්බවුනා ඒ පාර A/L කෙලවිලා. ඊලඟ අවුරුද්දෙනම් අමාරුවෙන් හරියට සල්ලි ගෙවලා ටියුෂන් ගියා.

ඉතිං කොහොමහරි - ලෝකේ දියුණු රටවල පුද්ගල ආරක්ෂණ විදිවිධාන හා ක්‍රම තියෙනවා පුද්ගලයන්ගේ දුෂ්කර කාල වලදි අත හිත දෙන්න. ලංකාව එහෙම දෙයක් ගැන හිතලවත් නැහැ. රස්සාවක් නැති වුනොත් මිනිහෙක්ට රස්සාවක් හොයාගන්නකන් ජීවත් වෙන්න හරිම අමාරුයි. විශේෂයෙන්ම තරමක් ණය අහරෙ මෙහෙත් තියෙනවනම්. අපි කවදා හෝ රටක් ගෙනියන්න ඕනේ එතෙන්ට. අනික තමයි - ඔය Teen age එක කියන්නේ හරිම දරුණු ජවය පිරුනු සුන්දර වයසක්. Risk ගන්න කිසි බයක් නැහැ. මේ වයසේ ළමයි ශාරිරික වගේම මානසික විපර්‍යාස වලට සීග්‍රයෙන් ලක්වෙන කාලය. අනික් එක මේ කාලේ තමයි එක එක වීරයෝ අපි හදාගන්නේ. අපේ පෞරෂය Bench Mark කරගන්න ගන්නේ. ඒ වගේම තමයි මේ කාලේ තමයි එක එක විකාර විරූපී දෙවල් ළමයින්ගේ හිතට ලංකරන්න පුලුවන්. Lady Gaga, Britney Spears, AQA, Rehana වගේ අසාමාන්‍ය පෞරෂයන් පොරවල් කරන්නෙත් මේ Teens ලා. Sanath Jayasooriya, Koli කුට්ටු, Tendulcar, Usain Bolt, Nonu, Carter, Maccow වගේ නියම වැඩකාරයෝ - දක්ෂ ක්‍රීඩකයෝ, චරිත ජාති ආගම් පාට බේධයකින් තොරව පොරවල් වෙන්නෙත් මේ ගොල්ලො අතරමයි. මේ කාලේ ළමයින්ගේ හැසීරීම් රටාවල වෙනස්වීම, ආවේගකාරී බව හා ආක්‍රමණික බව අවබෝධකරගන්න මෙච්චර නිදහස් අද්‍යාපනය තියෙන රටේ ගුරුවරු හා දෙමව්පියෝ දැනුවත් නැහැ. අපේ ගෙවල් ලඟ ඉන්න සමහර අම්මලා තාත්තලා මට කතා කරනවා එයාගේ දුව පුතා - කියනදේ අහන්නේ නැහැ, fashion කරනවා, skype කරනවා, face book කරනවා, UTube කරනවා, ඉන්ටනෙට් කරනවා, රස්තියාදු වෙනවා, කොණ්ඩ කපනවා, සැලූන් යනවා - පාඩම් කරන්නේ නැහැ, යාලුවෝ එක්ක පිස්සු කෙලිනවා කියලා. ඇත්තටම දෙමව්පියෝ මේ වයසෙදි ළමයින්ව අවතක්සේරු කරනවා. ඒ ගොල්ලෝ හිතනවා - teenagers ලට ජීවිතේ ගැන කිසිම අත්දැකීමක් නැහැ - අවබෝධයක් නැහැ වගකීමක් නැහැ කියලා. ඒ ගොල්ලෝ දන්නේ නැහැ - දැන් මේ teens ලා උත්සාහ කරන්නේ තමන්ගේ කියල - තමුන්ට අනන්‍ය පෞරෂයක් ගොඩනගාගන්න කියලා. දෙමව්පියෝ මේ ගැටලුව දිහා මේ කෝනෙන් බලලා ආවේගශීලි නොවී අවබෝධයෙන් පරිස්සමින් විපරමින් විමසිලිභාවයෙන් කටයුතු කලොත් Teenage එක තමයි දරුවෙක්ට කිසිදාක නොවැටෙන්න අත්දැකීම්, ආත්ම ශක්තිය, පෞරෂය දෙන්න පුලුවන් හොදම සතුටු දායක සහ පලදායීම වයස. මේ අත්දැකීම් ජීවිතේ ඇතිතේකට දෙමව් පියන්ට දරුවන්ට ගුරුවරුන්ට හිතමිතුරන්ට අමතක කරන්න බැරි තරම් වටින අත්දැකීම් බවට පත් වෙන්නේ - දෙමව්පියෝ දරුවෝ ගුරුවරු අතර තුන් කොන් සටන win win වෙනකොට විතරයි.

Thursday, September 26, 2013

උගුරැස්ස ගහ

අද හදිසියෙන්ම ආපු කෝල් එකට එකපාරටම මමත් ටිකක් කැලඹුනා. නංගි වේගයෙන් කථා කරලා අහනවා - අයියේ ඔයා උගුරැස්ස ගහේ අතු කැපුවද කියලා. ඉතිං පොඩ්ඩක් ඇත්නම් පවුලතුල ආවේගශීලී පොරත්වයක් පෞරෂයක් ආරෝපනය කරගන්න දිරිමත් කරන අපේ අවට වටපිටාව දන්න නිසා - නංගිගේ ආවේගශීලි ඇමතුම මම සරලවම නොසලකා හැරියේ - පිස්සුද ඕයි !!! කියලා. ඉතිං ටිකක් නිවෙන්න ඇරලා මම විපරම් කරල බැලුවා මොකක්ද කියලා. කතාව ඇත්ත. සිලි ලංකා (Silly Lanka) ප්‍රජාතාත්ත්‍රවාදී ජනරජයේ විදුලි බල දෙපාර්තුමේන්තුවට අනුයුක්ත උසස් වැටුප් ලබන පුහුණු කම්කරුවෝ ටිකක් විදුලි කම්බි අවදානම් ගස් සුද්ධ කරන්න ආපු ගමන් තක්කඩි වැඩක් කරලා. මුන්ගේ කම්බි තියෙන්නේ ඇත්තටම අපේ ගෙදරට ගොඩක් ඈතින් වුනත් - ඒ කම්බි ආසන්නයට ලඟාවීමට වත්ත ඇතුලින්ම වැටිච්ච අඩි පාර වැටිලා තියෙන්නේ - ලඟදි පීදුන උගුරස්ස ගහ අසලින්. මේ දවස්වල ගෙඩි පිරිච්ච උගුරැස්ස ගහ අපේ ගමේ පොඩිවුන්ටත් ලේන් දඩු ලේන් දෙමලිචි පණු කුරුල් ආදී නොයේක් සතුන්ටත් ගොඩක් සතුට ගෙනෙන තැනක්. මේ අසබඩම තමයි මම ලඟදි Rain Water Harvest කරන්න කියල හදපු තරමක් විශාල පොකුණ තියෙන්නෙත්. ජලමූලාශ්‍රයකුත් ගහ ඉස්මත්තට සෙට් වෙච්ච නිසා - ගහත් සතුටට මදි නොකියන්න ගෙඩි හදලා. ඉතිං මේ විදුලබල තක්කඩි, ගෙඩි පිරුණු අතු වලින් ඉදුනු ගෙඩි කඩාගන්න කම්මැලි කමට කරලා තියෙන්නේ මහා බලු වැඩක්. ගෙඩි කඩං කනවා වෙනුවට අතු සුද්ධ කරන කෙකි වලින් අතු කපලා දාලා ඉදුනු ගෙඩි 50 ක් ගන්න අමු ගෙඩි 1000ක් විතර තිබ්බ අතු කපලා, බිම දාලා. මුන් කරපු අපරාදේ තරම මුන්ට තේරෙන්නේ නැහැ. මොකද මුන් මේ ගැන සංවේදී නැහැ. හැබැයි හැන්දෑවක හීනියට ශොට් එකක් දාලා කථා කලොත් මුං විතර සංවේදි - මුං විතර බණ දහම් දන්න එවුන් බුදුන් උපන් කාලෙකවත් ඉදල නැහැ.

මේ ගෙඩි ඉදුනාම කන්න මුලු ගමේම පොඩි බට්ටෝ බට්ටියෝ තරඟයට වගේ බලන් ඉන්නේ. ගිය සෙනසුරාදා ගෙදර ගිය ගමන් මම ගෙඩි ටිකක් කඩන් පොඩි උන් ටිකකට බෙදලා දීලා - වෙලාව නැති නිසා අනික් ගෙවල් වලට යන්න බැරි වුනා. අම්මත් ඒ අතර ප්ලෑනක් ගහලා උගුරැස්ස ගහ බදු දෙන්න. දඩු ලේන්නු පවුලයි - ගිරව් සෙට් එකයි අපි ගහ ලඟට එනවටත් තරහයි. පණු කුරුලු සෙට් එකට ලේන්නුන්ටනම් බිම වැටුන ගෙඩි ටිකත් ඇති. බලල් රාළ ගහ වටේ කැරකෙන්නේ - උගුරැස්ස කන ලේනෙක්ට ගේමක් දෙන්න බලාගෙන. නංගි යන තැනක යන්නේ උගුරැස්ස ගෙඩි ටිකක් මල්ලට දාගෙන. නීල් අයියගේ ගහේ මේ පාර උගුරැස්ස වරලා හින්දා නීල් අයියත් හරක් බදින්න යන ගමන් උගුරැස්ස ගහ ලඟට visit එකක් දාලා යන්නේ. ඇයි මගේ මලයා - මට මාස කීපයකට කලින් රස්සාව හම්බවුනා දෙමටගොඩ. මෙන්න බොලේ Virtusa එකට එහා පැත්තේ වහු පැටියෙක් කෑ ගහනවා !!!. ඇත්තටම යකෝ කොළඹ කොහෙද හරක් ?. මේකා වලකටවත් වැටිලද මගුලක යනගමන් ? කෝකටත් සද්දෙ එන ඉසව්වට තනියම කිට්ටු කරල බැලුවා - පිස්සු හැදෙනවා, එතන එහා පැත්තේ තමයි දෙමටගොඩ ප්‍රසිද්ධ ලංකාවේ විශාලම හරක් මස් මඩුව. වැඩිපුරම හිටියේ ගැබ්බර දෙන්නු හා පැටව්. එක පිරිමි වහු පැටියෙක් මාව දැක්කා විතරයි, දුවගෙන ඇවිත් අත් දෙක ලෙවකන්න ගත්තා - කඹේ බැදලා නිසා ලඟට එන්න බැහැ. අභය දෙන හැමොම එළ දෙන්නු ගත්තට - කවුරුත් ගොන්නු ගන්නේ නෑ නේ. පිරිමි ස‍තෙක්ට මස් මඩුවකින් අභයදානය ලැබෙන්නෙත් කලාතුරකින්. ඉතිං ඒ ගමන්ම කලේ ගෙවන්න තිබ්බ හිර වෙච්ච ණය ඔක්කොම මොහොතකට අමතක කරලා මස් බරට ලොකු මුදලක් දීලා මායා බොංචි ඇට ගත්තු මොඩ කොලුව වගේ වස්සත් ලොරියක දාන් ගෙදර එක්කන් ගිය එක. අම්මලාටත් පුදුමයි. බැන්නේත් නැහැ එදානම් හැබැයි. කොල්ලට එතකොට මාස 4යි - බඩේ මිම්මෙන්. මේයාට මම කියන්නේ මල්ලි කියලා. මල්ලිත් හරිම ආසයි උගුරැස්ස කන්න. සෙනසුරාදා මම ගෙදර ගිය ගමන් උගුරැස්ස අතින් තලලා මල්ලිටත් දුන්නේ නහය විදින්න තිබ්බ නිසා හිතවත් වෙන්මයි. නීල් අයියායි මායි උදේම මල්ලිගේ නහවිද්දේ මල්ලි උගුරැස්ස කන ගමන්. චුක් ගානකෙට නීල් අයියා නහ විදලත් ඉවරයි. මල්ලිට උගුරැස්ස රහට මෙලෝ දෙයක් ගානක් නෑ. ගොනා කියන්නේ නිකන් නෙමෙයිනේ කියලා හිතුනෙත් මේ උගුරැස්සම කන ගමන් තමයි.

ඉතිං උගුරැස්ස ගහට ලොකු කතාවක් තියෙනවා. මම කුඩා කාලේ උගුරැස්ස කන්න හරිම ආසයි. ඒ කාලේ කඩෙන් අරන් කන සිරිතකුත් නැහැ - කඩේ තිබ්බත් ගන්න සල්ලි නැහැ. ගමේ ගෙදරකින් තමයි ටිකක් ඉල්ලගෙන රහ බලන්නේ. මම හත වසරෙදි හැම තැනම හෙව්වා උගුරැස්ස පැල - අපිටත් ගහක් හිටවාගන්න. හොයලා හොයලා - අන්තිමට හම්බවුනා. හම්බවුනේ පොඩිරත්න සර්ගෙන්. පොඩිරත්න සර් විවාහකයි - හැබැයි දරුවෝ නැහැ. පොඩිරත්න සර්ගේ මිස් හරිම ජනප්‍රිය, වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පරාර්ථකාමී ඉතාම යහපත් ඉතාම දක්ෂ ඉතාම කැපවීමෙන් උගන්නන ගුරුවරියක්. ගුරු කම වෙන එකක්නේ. යහපත්කම කන්නද. වැඩකාරයෙක් නම් පොඩ්ක් හරි බක්තියක් දෙන්න තිබ්බා. අපේ ගමේත් Silly ලංකාවේත් වැඩකාරයෝ කියන්නේ තමුන් දහඩිය මහන්සියෙන් අසීමාන්තිකව වෙහෙසිලා යමක් කමක් හරි හම්බ කරගන්න එවුන් නෙමෙයි. පලාත් සභාවක ප්‍රාදේශීය සභාවකට රිංගලා, o/L වත් පාස් නැතුව, කසිප්පු තිප්පොලවල් වලින්, ගමේ කෙලවරේ කලු ගලෙන් - ගඟේ ගහගෙන යන වැලි ටිකෙන්, චූටි මැර පාට් එකක් - සෙට් එකක් එක්ක ගිහින් දාලා, තක්කඩි කන් කරලා, බොරුවට විබාග පාස්කලරලා හොර degree අරන් ගොන් ආතල් එකක් දෙන එවුන්නේ. ඒ ගොල්ලන්ට තමයි කවුරු මොනව කිව්වත් අපි රැස්පොට් එක ඇත්තටම දෙන්නේ. ගරු කරන්නේ. උන්ට ඉහලින් බයට හරි වචනයක් නොකියා ඉන්නවා. අපේ ගමේ සමහර එවුන්ට ඇත්තටම තිබ්බ එක ලොකුම ප්‍රශ්නයක් වුනේ මේ ජොඩුවට දරුවෝ නැති එක. හැබැයි - චිහ් !!! වීරෝදාර සිංහල අපි එහෙම කැත කතා මූණට කියන්නේ නෑ නේ. එහෙම නොකියා ඉතිං මිනිස්සු හැම තැනම කියනවා ඔය ජොඩුව ඔච්චර මහන්සි වෙන්නේ කාට හම්බ කරන්නද කියලා. මේ ජොඩුවට සමහරු නැති තැන ගරහනවා මම හොදටම දැකලා තියෙනවා. මේ ගැමියෝ අතර අපේ පවුලේ අයද නොහිටියා කියන්න බැහැ.පොඩිරත්න සර් හරිම මහන්සියෙන් කැපවීමෙන් ගොවිතැන් බත් කරලා මුදල් උපයනවා. සර්ගේ ගම්මිරිස් කොසෙල් වතු දැක්කත් ඇති. හැබැයි වාසනාවන්ත නමුත් උත්සාහය අඩු, තමුන්ගේ වත්තේවත් අලයක් හිටවගන්න කම්මැලි ගම්මු ඒ මනුස්සයාගේ උත්සාහයට ඊරිසියයි. ඒක නොකියන අපේ ගමේ අය කියන්නේ - ඒ මනුස්සයට දරුවෝ නැත්තේ කුණු කම නිසාලු. ඒ මනුස්සායා ඉස්සර පෙර ආත්මවල ජරා වැඩ කරලලු. ඉතිං අපි අපේ බලුකම ඉරිසියාව වහගන්න, තමුන්ගේ හර්ධ සාක්ෂිය අමන විදියට රවට්ටගන්න - බුදු හාමුදුරුවොයි, බණ දහමුයි, ඔක්කොමත් දැන් සෙට් කරන්. මම දන්න කාලේක, මම දැකපු කිසිතැනක මේ සර් එහෙම කාටවත් කරදරයක් අකරතැබ්බයක් කළේ නැහැ. හැබැයි ටිකක් ආගම දහමට නැඹුරු වෙලා වැඩ කලා - දරුවෝ නැති දුක තුනී වෙන්න මගේ හිතේ. ඒ අතර හීනියට අඩියකුත් දෙකකුත් ගැහුවා. නෑදෑ දරුවනුත් ගෙදර තියන් කන්න බොන්න දුන්නා - පාසැල් යැව්වා. ඒ ළමයිටත් ත්‍යාගශීලී උදවිය ටිකක් වෙනස් විදියට සැලකුවේ මගේ හිතේ. ඉතිං උනුත් හැසුරුනේ වෙනස් විදියටද මන්ද. දුප්පත් ළමයි - නැත්නම් අසරණ ළමයි කියලා ටිකක් තැනක් දෙන්න අදි මදි ගතියක් මම අපේ මහා ධනවත් හරිහමන් රස්සාවකුත් නැති සමහර සිටුවර ගම්මුන් අතර දැක්කා. ඉතිං අපේ අම්මලා තාත්තලාටත් - සමහර වෙලාවට පොඩිරත්න සර් කියන්නේ විශ්වාස කරන්න බැරි, බොරු උපාසකකම් කියන මහා කපටි මනුස්සයෙක්. මේ මනුස්සයා ගැන කියන කථා මොනවා වුනත් - මම සර් දුන්න උගුරැස්ස පැලේ හිටවලා නිතරම පෑවිලි වලට වතුර දදා රැක ගත්තේ උගුරැස්ස කන්න තිබ්බ කෑදරකමටමයි.

ඉතිං ගස් එකපාර හැදෙන්නේ නෑ නේ. ගස් හැදෙන්න කල් යනවා. කල් යන්න යන්න අම්මායි තාත්තයි මට බනිනවා - අහවල් ගුරාගේ සූත්තරේට අහු වෙලා, ගෙඩි හැදෙන්නේ නැති බොරු උගුරැස්ස ගස් උස්සන් ගෙනත් කියලා. මම ටෙස්ට් එකක් කලා. ඇත්ත උගුරැස්ස ගහක කොල ගෙනත් මගේ ගහේ කොළ එක්ක පොඩි කරලා සුවඳ බැලුවා. කොල කඩලා පත්‍ර නාරටි බෙදෙන විදිය බැලුවා. අපේ ගම්වල ගොක්කොළ පණ්ඩිතයන්ට මොන Botany ද.දැන් මට හොදටම විශ්වාසයි මේක උගුරැස්ස කියලා. තවත් සමහරු කිව්වා මේ ගහ - කටු ලොවි කියලා. මම හොදටම රණ්ඩුවුනා මේ ගහ නොකපා ඉතිරි කරගන්න - මේ උගුරැස්ස කියලා. වෙන වල් ගස් වත්තේ කොච්චර තිබ්බත් - තාත්තටත් ඕනේ මේ පැලේම කපලා දාන්න. තාත්තා කිහිප දවසක්ම මමත් එක්ක මේ පැලේ ගැන පැටලුන වාද වලට එයාට කියන්න විද්‍යාත්මක කරුණු නැහැ, හැබැයි Teen පුතාට පරදින්න බෑ නේ - එහෙම වුනෝත් පියෙක් සතු ලොකුම දේ නැති වෙනවා කියලනේ තාත්තල හිතන්න ඕනේ, මොකද වැඩිහිටියන්ට ගරුකරන්න කියලා පන්සලේ කියන්නේ - ඒක නිසා Seniority එකට කියන ඕන ගොං කතාවක් එහෙයි කියලා පුදලා පිළිගන්න එකනේ. එහෙම නොකරන පුතෙක් අකීකරු අසාර්ථක නූගත් පණ්ඩිතයෙක්. ඒක නිසා තාත්තට මේ ගැන දොසක් කියන්න බැහැ. කොහොම හරි කරුණු විරහිත වාද සහ පොඩිරත්න සර්ගේ ගැන ඔහු තුල තිබ්බ මනස්ගාත අත්බූත පුහු මතවාද ඇරෙන්න පිළිගත හැකි කිසිම තර්කයක් තාත්තටත් හොයාගන්න බැහැ මේ ගහ උගුරැස්ස නෙවෙයි කියන්න. මම ගහට සලකනවා දකින්න දකින්න - තාත්තා කිපෙනවා. තාත්තා මම ගහට ගරු කරල සලකන එක දකින්නේ, පොඩිරත්න සර්ට දෙන අනවශ්‍යය ගෞරවයක් විදියට. අම්මටත් මේ අදහස තාත්තා පැලපදියම් කරවලා. දවසක් ඉස්කෝලේ ඉදන් ගෙදර එනකොට තාත්තා නිවාඩු දාලා ගහ කඳ මැද්දෙන් කපලා. ඉතිං එදා හරිම දුකක් දැනුනේ. මම බිම හැපිලා කෑ ගහලා, ගහේ ඉතිරි කොටේ වටේට කනු බැදලා ආයේ වතුර ගෙනත් දාන්න ගත්තා. තාත්තා කොච්චර කෝපයකින් හිටියත් එදා ගහ මුලින්ම ඉදිරුවේ නැත්තේ - මගේ අසීමිත විශ්වාසය හා සටන ගැන ටිකක් බයක් තිබ්බ නිසාමයි. ඉතිං කපල දුර්වල කරපු ගහ මට අවුරුදු 29 ක් විතර වෙනකොට, සරුසාරව විශාලව වැවිලා, අවුරුදු 16 කට පස්සේ - ගෙඩිය දෙක හැදෙන්න අරං. ඉතිං ඒත් පොඩිරත්න සර් ගැන අපේ අම්මා තාත්තා තුල තිබ්බ වැරදි සහගත හැඟීම දුරුවෙලා නැහැ. දැන් තාත්තා වයසින් දුබලයි. ඒ පාර කියනවා ගෙඩි හැදෙන්නේ නැති ගහක් දීලාලු. මේකේ ගෙඩිය දෙකලු හැදෙන්නේ. ඒවත් නරක් වෙලා බිම වැටෙනවලු. මේ ගෙඩි වරන වර්ගයේ උගුරැස්ස ගහක්ලු. එක එක අර්ථකතන දිදී තාත්තා මේක කපන්නමයි පොරේ. කෑ ගහල ගහලා තාත්තා කපන්න හිතන වාර වල මම ගහ බේර ගන්නවා. අන්තිමට මේ අවුරුද්දේ - ගමේ කිසි උගුරැස්ස ගහක ගෙඩි නැහැ. අපේ ගහේ ගෙඩි පිරිලා වැක්කෙරෙනවා. මේ ගෙඩි කනකොට මේ කතාව දන්න අම්මටත් හිනා. තාත්තාගෙත් කට වැහිලා. යහපත් ප්‍රතිඡල එනකොට ඒවා අයිති කරගන්න අයිතිකාරයෝ ගොඩයිනේ. මම එන්නත් කලින් අම්මා - උගුරැස්ස ගෙඩි කඩාගන්න වෙළෙන්දෙක්ට ගහ බදු දීලා.

මේ උගුරැස්ස ගහ ගැන කථාව අපේ වට පිටාව හා අපි ගැන කියනවා ලොකු කතාවක්. ඒක තමයි ලාංකීය සමාජය තුල පිහිටි ගතානුගතික කුහකත්වය, යතාර්ථවාදීව විවෘත්තව නොදකින ගතිය හා අනෙකා සාවද්‍ය ලෙස නැති තැන කොන් කිරීමේ කුහක කුරීරු මානසිකත්වය. ඒවගේම තියෙන අනෙක් දේ තමයි අපේ එවුන්ගේ තියෙන අවස්ථාවාදී ආත්මාර්ථකාමී කෑදරකම. විදුලි බල මණ්ඩලේ එවුන් එක බිත්තරේ දාන කිකිලි මරන් ඔක්කොම බිත්තර ටික එක පාර ගන්න හදලා කම්මැලි කමටම. මුන් අතුටික තියලා ඉදුන ගෙඩි ටික විතරක් කඩන් කෑවනම් - තව කීදෙනෙක් උන්විදින ඒ සතුටම බුක්ති විදිනවද කියන කාරණය නොදන්නවාට වඩා, ඒක නොවැදගත් ගානට - දැන දැනම මේ ගහ, කුහක කමට විනාශ කරලා ගිහින්. අපේ මිනිස්සුන්ගේ මේ තියෙන කුහක කම හා ඉරිසියාව හරිම දරුණුයි. කුරීරුයි. තමුන් විතරක් - තමුන්ගේ පවුල විතරක්, මිනිස්සු විතරක් ජීවත් වුනොත් ඇති කියලා හිතන්නේ. සොබා දහම උන්ගේ අම්මගේ අප්පගේ කියලා හිතන්නේ. දඩුලේනෙක් වත්තට ආවොත් ඒකට අහකදාන කුරුම් බැට්ටියක්, කුණු පොල් ගෙඩියක්, උණ අඹයක්, වැටිලා විසිකරන ඇඹරැල්ල ගෙඩියක්, රඹුටන් ගෙඩියක් කනවට තරහයි.ඉතිං සමහර වෙලාවට අපේ අම්මත් - රඹුටන් ගෙඩියක්, ඉදුනු අඹ ගෙඩියක් වගේ ලේනෙක් කනවා දැක්කොත් පොඩ්ඩක් අප්සෙට් යනවා. දඩු ලේන්නු පවුල පෙන්නන්න බැහැ. දඩු ලේන්නු අපේ ගමට අපේ පරිසරයට ආවේ මෑතක. ඒ අවුරුදු ගණනාවකට පස්සේ. අපි කුඩා කාලේ උන් වත්තේ හිටියේ නැහැ. අපේ බෞද්ධයෝ මේ සත්තු හැලි වලට එකතු කරගෙන තියෙන්නේ පෝෂණ ගුනය මැනවින්ම දැනගෙනමයි මගේ හිතේ. හැබැය් වත්මන් පරපුර ඒ අතින් සත්තුන්ට කුරීරු නැහැ. නැත්නම් ඉස්සර හිටපු ගැමියෝ ඉබ්බෙක්, හාවෙක්, මී මින්නෙක්, වල් ඌරෙක්, තලගොයෙක්ට ගෙයක් ගාවින් යන්න දෙන්නේ නැහැනේ.
ඉතිං Silly Lanka විදුලියේ මුන් තක්කඩිකං කලාට මට දුක් වෙන්න දෙයක් නැහැ. මම අතින් වලවල් කපලා - වෙහෙසිලා, මහන්සිවෙලා හිටවපු, සාත්තු කරපු පල දරණ ගස් දැන් ගොඩයි. අපේ ගෙදර ගොඩක් යන එන අය දකින්න ආසා දෙයක් තමයි අපේ වත්තේ තියෙන අලංකාර ගස් කොලන් ටික. වතුර වලවල් පොකුණුටික. මේවගෙන් බහුතරයක් මම කුඩා කාලේ හිටන් හිටවපුවා - කපපුවා. හැබැයි හිටවන්න කියලා දුන්නේ - පුරුදු කළේ අපේ අත්තම්මා. ඊට පස්සේ තාත්තා. ඊට පස්සේ බාප්පා. අත්තම්මා මේ පුරුද්ද අපේ පවුලේ හැමෝටම දීලයි ගියේ. මට ආඩම්බර වෙන්න පුලුවන් තවත් දෙයක් තමයි - දුගී කම්කරුවෙක් ලෙස රැකියාව කලත් මගේ බාප්පා අවසන් ගමන් යන්න ලෑස්ති වුනේ - ඇවිදගන්න බැරුව ඇවිත් වැදලා පොල් පැලයක් හිටෝල. කොහොම හරි ලංකාවේ පරිසරය ගැන වැරදි අවබෝධයක හිටපු මට ගහක කොලක ඇලක දොලක සතෙක් සිව්පාවෙක්ගේ වටිනාකම කවදාවකවත් රුපියල් සතවලින් නම් තක්සේරු කරන්න බැහැ කියලා අවධාරණය කරලා පෙන්නල දුන්නේ රතුපස්සවල විරෝධාර රණවිරු කැල තමයි.

අන්තිමටම කියන්න තියෙන්නේ අපි නොදැක්කට සංවේදි නොවුනට අපි විසින්ම කරන පරිසර විනාශය හරිම දරුණුයි. මීට අවුරුදු 15 කට 20 කට කලින් තිබුණු දියකඩිති වතුර පාරවල් අද නැහැ. ඉතිරි වෙලා තියෙන ඒවගේත් දණ්ඩි පැටියෙක් නල හඳයෙක්වත් දකින්න නැහැ. මේක හරිම අවාසනාවන්ත තත්වයක්. මේ විදියට අපිට කොච්චර කල් අල්ලලා හිටින්න පුලුවන්ද කියන එක තමා ප්‍රශ්නේ.

Wednesday, September 25, 2013

බාප්පගේ ජීවිතය සහ මරණය

පසුගිය දවස්ටිකේම Face Book එකේ මුකුත් කුරුටු ගාන්න වේලාවක් වුනේ නැහැ. පසුගිය සති දෙකම ටිකක් අවිවේකීව තමයි කාලය ගතවුනේ. කොහොමහරි මේ සති දෙක ඇතුලත මට මගේ ජීවිතේ විශාල පරාසයක විසිරුණු ඉතාමත්ම වටිනා ඒ වගේම කටුක අත් දැකීම් සමූහයක් එකතුවුනා - අපි ඇත්තටම ජීවිතේ ඉගෙන ගන්නේ අත්දැකීම් වලින්. නමුත් අපේ වැරැද්ද තමයි එදිනෙදා ලබන වටිනා අත්දැකීම් පැය කීපයකින් අමතක කරලා - එකම වැරැද්ද නැවත කරමින් පසුතැවීමෙන්ම කල් යවන එක.

ඉතිං මම පසුගිය වෙසක් පෝයදා දවස පටන් ගත්තේ, වෙනදා වගේම පරක්කු වෙලා නැගිටලා හවස් වෙනකොට ගේ ලඟම තියෙන මාලිගා කන්ද ආරණ්‍යයට බඩගා ගන්න අදහසින්. කාලයක් මේක අපේ අත්තම්මගේ නිති පන්සල වෙලා ඊට පස්සේ බාප්පාගේ පන්සල බවට වුනා. මම්මයි සීයා තාත්තයි නැති වුනාට පස්සේ අපේ බාප්පා මේ පන්සලට නිතරම යන්න එන්න ගත්තා. එතකන් බාප්පා හිටියේ එයාගේ අම්මා - මම්මා එක්ක. නමුත් මම්මගේ මරනෙන් පස්සේ තනිකඩ බාප්පා අපේ ගෙදර නවත්ත ගත්තා. අපේ බාප්පා ශරීරයෙන් සුවිසල් නොවුනත්, උගත් තේජසින් සුවිසල් නොවුනත් මම දන්න කාලෙට දැකපු භක්තිමත්ම උපාසක මහත්තයෙක්. එයාගේ තරුණකාලේ ඒ වගේම එයාගේ ජීවිතය ගැන මට යමක් කමක් තේරෙන්න ගත්තු දා ඉදන් මට ඔහු ගැන තිබුනේ අනුකම්පාවක්. තමුන්ගේ කියලා වෙනමම ජීවිතයක් ගොඩනගාගන්නත්, සමාජශීලිව ජීවත්වෙන්නත් මොකක්දෝ හේතුවක් නිසා බාප්පා එඩිතර වුනේ නැහැ. සමාජය ඉදිරියේ නිහඩ ලැජ්ජාශීලි චරිතයක් වෙච්ච බාප්පා ගෙදරදිනම් එච්චර ලැජ්ජාශීලි වුනේ නැහැ. සමහර වෙලාවට වැඩිහිටි වියේදි වුනත් බොලඳ කුඩා ළමයෙකු වගේ හැසිරෙන ඔහුගේ චරිත ලක්ෂණ අපේ ගෙදර යන එන අයගෙත් සරදමට ලක්වුනා කිව්වත් බොරුවක් නෙමෙයි. 


දැනට අවුරුදු 15 කට විතර කලින් එයාගේ අම්මා නැති වෙච්ච දවස්වලට පස්සේ ඉදන් බාප්පා ගොඩක් දවස්වලට පුරුද්දක් විදියට වැඩ ඉවරවෙලා ඇවිත් මහා රූ ජාම වල මේ කන්ද නැගල පන්සලට යන්නේ හරිම භක්තියෙන්. මුලදි මුලදි තනියම රෑ දෙගොඩ හරියේ පන්සල් යන වැඩේ තාත්තට රිස්සුවෙත් නැහැ. මේ වැඩේ ආරණ්‍ය හාමුදුරුවන්ගේ භාවනා කටයුතු වලටත් ටිකක් කරදර දෙන්නක් වුනාද කොහෙද. ගොඩක් දවස් වලට ටොච් එකත් අරන් ටොපි චොකලට් රසකැවිලි ඉටිපන්දන් අරන් - එයාගේ වස්තුව සියල්ලම කවුරුහරි ගනියි කියන සැකයෙන් වගේ බෑග් එකට දාගෙන, මේ කන්ද කරුණා කරන බාප්පගේ හිතේ මොන වගේ අරමුණක් තිබුනදනම් කියලා මම දන්නේ නැහැ. හැබැයි එකක් නම් දැනගෙන හිටියා - ඒ සමහරු බාප්පට ගරහපු බවත්, සමච්චලයට හා උසුලු විසුලු කිරීමට ලක් කල බවත්, සමාජය විසින් කොන් කරමින් බොරු අනුකම්පාවට ලක්කල පුද්ගලයෙක් කියන කාරණා ටික. අනික් එක තමයි බාප්පා මේ පන්සලට යන්න එන්න ගත්තේ දැන් එයාට එයාගේ කියලා කාත් කවුරුවත් නැතැයි කියන හැගීම ආපු නිසාත්, ඔහු කිසියම් සෙනෙහසක් ආදරයක් පන්සලෙන් බලාපොරොත්තු වුන නිසාත් කියලා ටික ටික මට තේරුම් ගියා. බාප්පා මොකක්දෝ හේතුවක් නිසා මිතුරන් ඇසුරු කරන්න බිය වුනා. කුඩා කාලයකවත් ඔහුට හිටපු මිතුරෙක් ගැන නම් අහලවත් නැහැ. අසල් වැසියන් ඇසුරු කරන්නත් බාප්පා නිතරම සැක හිතුවා. ඒක නිසා ඔහු තනිකඩ නිහඩ ජීවතයක් ගෙනියන්න උත්සාහ කලා. කොහොමහරි ඉතිං අපේ අත්තම්මගේ මරණයෙන් පස්සේ පන්සලත් එක්ක ඇතිවෙච්ච සබදකම බාප්පගේ අන්තිම දවස වෙනකම්ම එයාට ශක්තියක් වුනා.

බාප්පා මෙහෙම උසුලුවිසුලුවකට ලක්වුනේ, ගැරහීමට ලක්වුනේ නිකම්මනම් නෙමෙයි - කරුණු කීපයක් උඩ. එයාගේ සාපේක්ෂව කුඩා ශරීරය, එයාගේ නිහඩ බව හා අනෙකුන් විශ්වාස නොකරන ගතිය, එදිනෙදා මග තොටේ දකින සම වයසේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වෙනස් වුනු චාර්‍ය්‍යා රටාවල් - මේ ඔක්කොම බාප්පා අසාමාන්‍ය මනුෂ්‍යෙයකු ලෙස සමාජය ඇතුලේ හන්වඩු ගැහුවා. බාප්පා බුදුන් වදින්නේ දොහොත් මුදුන් දීලා - හරිම භක්තියකින්, ගෞරවයකින් - බුදුන් ජීවමානව දැක්කා වගේ අපමණ සන්තොසයකින්. මම හිතන්නේ ඒක තමයි බුදුන් වදින නිවැරදිම ක්‍රමය. හැබැයි එයාගේ මේ ඉරියව් හා අපරිමිත භක්තිමත්බව දකින හැමොටම හාස්‍යක්, නූගත් නොහොබිනා මොඩ විහිලුවක්. කෙටියෙන්ම කිව්වොත් බාප්පා රස්සාවෙන් කම්කරු ශේණියේ මිනිහෙක්. මටත් හිතා ගන්න බැහැ, යමක් කමක් හිමි බාප්පා - කම්කරුවෙක් විදියට දුෂ්කර, පිළිගැනීමට ලක් නොවන රැකියාවක් කරන්න තරම් දෛවය කුරිරු වුනේ කොහොමද කයලා. හැබැයි ඔහු වැඩ කලේ මේ රටේ ජාතික ජලසම්පාදන මණ්ඩලය කියන රාජ්‍ය ආයතනයට. මේ රාජ්‍ය ආයතන මේ දුබලයන් හෝ එතරම්ම හැකියාවන් නොමැති පිරිසට වැඩ කරන්න එච්චර සුන්දර තැන් නෙමෙයි. අපි හරියට ආඩම්බර මේ බෞද්ධ රටේ, බෞද්ධයන්ට වැඩිපුරම හිරිහැර කරන්නේ තමුන්ගේම බෞද්ධයෝ මිසක් වෙන අයනම් නෙමෙයි. බාප්පව අවුරුදු තිස් ගානක් වෙච්ච Indirect/ direct Bullying වලින් බේරගත්තේ David කියලා ක්‍රිස්තියානි ඉංජිනේරු මහත්තයෙක් - මොරටුව විශ්ව විද්‍යාලයේම ආදිශිෂයෙක් වෙච්ච. මේ මහත්තයා එයා අසීරුවෙන් හිටපු පිරිසෙන් ගලෝගෙන සුදුසු ස්ථානයක සුදුසු ලෙස ගෞරවයෙන් වැඩකිරීමේ අවස්ථාව සලසල දුන්නට පස්සේ, බාප්පා එයා තිස් අවුරුදු රැකියා ජීවිතේ පලවෙනි වතාවට නෝ පේ නොගිහින් බොනස් එකක් හිමි කරගත්තා. 
මේ හිරිහැර ගොඩක් ශාරීරික නැහැ. නමුත් අපේ අය ආයතන ඇතුලේ ගොඩක් වෙලාවට කරන්නේ දුබලයින්ව විවිධ අකාරුණික වචන සමච්චල් විහිලු ගැරහිලි අගෞරව කිරීම් වලින් පීඩනයට පත් කරන එක. ඒවයින් දුබලයින්ට වෙන මානසික පීඩනය කොච්චර දරුනුද කියල කවුරුත් දකින්නේ නැහැ - නැත්නම් ඒ ගැන සන්වේදී නැහැ. අද වෙනකොට බාප්පා අපෙන් සමුඅරන් හරියටම දවස් හතක් වෙන තැන මට මේ පෝස්ට් එක දාන්න හිතුනේ, ලංකාවේ අපේ ආකල්ප සැලකුම් ඇවතුම් පැවතුම් දුබලයා කෙරෙහි කොච්චර අකීකරුද කියන කාරණයට උදාහරණත් ටිකක් දෙන ගමන්මයි ...

අපේ බාප්පා මට මතක ඇති විදියට වැඩ කාලේ කොච්චිකඩේ, මීගමුව, බම්බුකුලිය කියන ජලසම්පාදන මණ්ඩල තුනේ. මම දන්න කාලෙක එක අවුරුද්දක ඇර වෙන කිසිම දනක බාප්පා වෙලාවට වැඩට ගිහිනුත් නැහැ, හැම දාම නෝ පේ සහ Warning. ඔහුගේ අවුරුදු 30 කට වඩා දිගු සේවාකාලය තුල බාප්පා හැමදාම වැඩට ගිහින් බොනසුත් ගත්තු එකම අවුරුද්ද වුනේ ඔහුගේ ජීවිතා අවසාන අවුරුද්ද කියල හිතද්දිත් හිතට දැනෙන්නේ ලොකු දුකක්. බාප්ප හැමදාම ප්‍රිය කරන්නේ කුඩා කාලේ සෙල්ලම් බඩු, කැසට් රේඩියෝ, ලයිට් වැල්, බකට්, ඉටිපන්නදම්, එලාම් ඔරලොසු, පියරු ටින් විසිතුරු බඩු සුවද විලවුන් ආදිය එකතු කරගන්න. තරුණ වයසෙවත් බාප්පා හොයාගත්තු සල්ලිවලින්වත් කොච්චර ඇදුම් ගත්තත් එයා වැඩට හොද ඇදුම් ඇන්දෙ නැහැ. එයා කියනවා වැඩපලට පිරිසිදු ඇදුම් අදින්න ඕනේ නැහැලු - වැඩ කරන තැනේ හැටියට අදින්න පළදින්න ඕනේ. මේවා මහා පණ්ඩිත කතා. ඉතිං කිලිටි පරණ ඇදුමක් ඇදල උදේට තෙල් ගාලා පියරු මූණ පුරා ගාගෙන පොඩි ළමයෙක් වගේ වැඩට යන බාප්පා - මගේම බාප්පා කියන්න, මම වයස 7,8 කාලේ වගේම සරසවියට යනකලුත් ලැජ්ජා වුනා. තමුන්ට වඩා ශාරීරිකව ශක්තියක් අඩු - එහෙමත් නැත්නම් වෙනස් විදියට හිතන, නිතර දකින ක්‍රමයෙන් අපගමනය වෙච්ච හැසිරීම් තියෙන අයට සමාජය හරිම කුරීරුයි. ඇත්තටම කියනව නම් මෑතක් වෙනකම්ම අපේ ගෙදර අම්මයි තාත්තයි වුනත් බාප්පා ගැන ටිකක් හිතුවේ අපි ගැන, නැත්නම් සාමාන්‍ය අනික් ඒ ගොල්ලන්ගේ හිතවත් මිතරන් නෑදැයින් ගැන හිතන විදියට නෙමෙයි. ඒකට හේතුව තමයි බාප්පා වගේ කෙනෙක්ට නැත්නම් අමුතු වෙනස් චර්‍යයා රටා සහිත පුද්ගලයෙක් දිහා කාරුණිකව බලන්න ඒ ගොල්ලන්නට සමාජයෙන් පොත පතින් රැකියා කරන ආයතනයෙන්, මිතුරන්ගෙන්, වැඩි හිටියන්ගෙන් දැනුමක් පුහුණුවක් හා ක්‍රියා පිලිවෙලක් ලැබිලා තිබුනේ නැති කම.

ඉස්සර මහ රෑ වෙලා බාප්පා ටෝච් එක අරන් පන්සල් යන්න හදනකොට තාත්තා බනිනවා - යකෝ උඹ රූ තිස්සේ පන්සල් ගිහින් හාමුදුරුවන්ට කරදර කරන්න එපා, ගෙදර හිටපන් කියලා. එහෙම කියන්නේ බාප්පට ආදරේට. නමුත් බාප්පා මේක දකින්නේ බාප්පට කරන අවමානයක් හිරිහැරයක් විදියට. බාප්පට මෙහෙම කෑ ගහද්දි - මම අම්මටයි තාත්තටයි කෑගහනවා. බාප්පව බයිසිකලේ තියාගෙන පන්සලට ගිහින් ඇල්ලලා එනවා. සමහර දවස්වලට බාප්පා තරහා වෙලා පන්සලේ නවතිනවා. ඉතිං මම ගිහින් එක්කන් එනවා. ටික කලක් යද්දි ගෙදර අයගෙත් බාප්පා ගැන ආකල්ප වෙනස්වුනා. බාප්පගෙත් ගෙදර ගැන ආකල්ප වෙනස් වුනා. බාප්ප පොඩි ළමයෙක් වගේ. අවුරුද්දට රතිඤ්ඥා අහස්කූරු බමර චක්‍ර නිලා ඔක්කොම ගේනවා - අවුරුදු කරන්න. අපිටත් ඉදල හිටලා නිලා කූරක් දෙකක් දීලා පත්තු කරන හැටි ඈත ඉදන් බලන් ඉන්නවා. එයා මේවා ගෙනාවට පත්තු කරන්න බයයි. මොනව ගෙනාවත් පත්තු කරන්න අපිව අඩගහගන්න ඕනේ. ඒ වගේම තමයි වෙසක් එකටත්. මොනවා නැතත් බාප්පා වෙසක් එකට බෞද්ධ කොඩියි ටොපියි බකටුයි ඉටිපන්දමුයි නම් ගේනවමයි.
කොහොම හරි පහුගිය අවුරුද්ද දෙක තුන මටත් එච්චර ගුණ වුනේ නැහැ. කරපු ගොඩක් දේවල් වැරදුනා. රස්සාවලුත් එච්චර fit වුනේ නැහැ. රට ගියා - ඒවත් එච්චර හරි ගියේ නැහැ. ණය පිට ණය. ඒ වෙනකොට උපාධි තුනකුත් කරලා - ප්‍රශ්චාත් උපාධියත් කොරලා, තව විබාහග ගොඩකුත් කරලා - හරි හමන් රස්සාවක් නැතුව හිටියේ - ඇත්තටම මේ කාලේ ජීවිතේ ගැන ලොකු බලාපරාපොරොත්තු තියන එකත් මම අත ඇරියා. ඒ වගේම කිහිප වතාවත් ඇක්සිඩන්ට් වුනා - රොහල් ගත වෙලාත් මාස කිහිපයක් අසාද්‍යව හිටියා, කරන කරන දේ වරදින නිසා, ගොඩක් ප්‍රයත්නයන් පරාජයෙන්ම කෙලවර වෙච්ච නිසා ජීවිතේ ගැන එහි නියම ස්වභාවය ගැන ගොඩක් අත් දැකීම් ලබමින් හිටියේ. මේවත් එක්ක බාප්පටත් හොදටම අප්සෙට් වුනා. මොකද මගේ අතේ කීයක් හරි තියෙනවනම් බාප්පටත් ජයයිනේ. අවුරුදු 50 පැන්නත් - මගේ පස්ස උඩ දාපු රේසිං මොඩල් බයිසිකලේ නැගලා සුදු සරමත් ඇදන් බාප්ප යන්නේ හරිම ආඩම්බරෙන්. බයිසිකලේ ස්ටාර්ට් කරන සද්දෙට පොඩි එකෙක් වගේ බාප්පා දුවන් එනවා. මම කියනවා - බාප්පේ යන් පොඩි ගමනක් !!!. පොර සුදු සරමත් දාගෙන හෙල්මට් එකත් අතට අරන් විදුලි වේගෙන් දුවන් එන්නේ. වේගය ටික ටික වැඩි වෙනකොට මීටරේ බලාගෙන බාප්පා කෑ ගහනවා. දැන් 60 පැන්නෝ - හෙමින් යමු හෙමින් යමු !!!- ආයෙනම් මම එන්නේ නැහැ. !!! ඒත් ඊ ළග දවසෙත් බයික් එක ස්ටාර්ට් කලොත් බාප්පා එතන.

බාප්ප සත්තුන්ට හරිම ආදරෙයි. ගමේම බල්ලොන්ට කඩල දෙන්න ආප්පයි, බනිසුයි, බිස්කටුයි - බිත්තරයි අරන් තමයි බාප්පා එන්නේ. බාප්පා එන වෙලාවට ගෙවල් වල බල්ලො පාරට වෙලා ඉන්නේ වාසියක් එනකම්ම තමයි. පහුගිය අවුරුද්දෙත් කොහොම හරි කැලෑ බලලෙක් යාලු කරන්. වෙන එකත් තියා වත්තේ හිටපු දඩු ලේන්නුත් බාප්පව දන්නවා. ඒ බාප්පා බනිස් ස්පන්චි ඥානකතා ගස්ලබු කෙහෙල් ගෙඩි අඹ වගේ දේවල් ගෙනත් එයාගේ ගේ ඉස්සරහ පොල් ගහේ තියෙන කුඩා කුහර ඇතුලේ ගහන නිසා - ලේන්නුන්ට කන්න. කොහොම හරි පසුගිය වෙසක් පෝයදා වෙනකොට බාප්පට උණ. බාප්පා ශාරීරිකව බැලූ බැල්මට දුර්වලව නොපෙනුනත්, හොදට කතා බහ කරමින් හිටියත් මටත් නිකමට වගේ දැනි දැනි තිබුනා බාප්පගේ ආයුෂනම් වැඩිය නැති බව. ඒක නිසා අපි හැමොම බාප්පාව නිතරම සතුටින් තිබ්බා. වෙනදා වෙසක් එකට බකට් පත්තු කරන බාප්පා එදා සද්ද නෑ. මම බැලුවා බකට් ගෙනල්ලද කියලා - බාප්පා බකට් ගෙනල්ලා තිබ්බා. හැබැයි පත්තු කරන්න උද්යෝගයක් තිබුනේ නැහැ. මම ඇහුවා - බාප්පේ, පකට් පත්තු කරන්නේ නැද්ද?
“නැහැ - මම දැන් ඕවා පස්සේ එච්චර යන්නේ නැහැ“
මේ කථාව මට ඇල්ලුවේ නැහැ. ඒ වෙනකොටත් අපි දැනන් හිටියා බාප්පාගේ වෛද්‍ය වාර්ථා වගේම - අපේ වෙද මහත්තය කේන්දරේ බලලා කියපු දේල් ගැන. මේ වෙද මහත්තයා - 2015 න් පස්සේ බාප්පගේ කේන්දරේ ලිව්වෙත් නැහැ. ඉතිං මම කිව්වා බාප්පේ අපි පහන් පත්තු කරමු කියලා. බාප්පා පහන් දෙක පත්තු කරලා එයාගේ කාමරේ ඉස්සරහින් තියලා වැන්දා. මම කරණීය මෙත්ත සූත්‍රය ගෙනත් බාප්පට කිව්වා මේක කියන්න කියලා - එයා කියනවා මට ඒක කියන්නලු - මම ඉතිං කරණීය මෙත්ත සූත්‍රය කියෙව්වා. බාප්පත් මාත් එක්ක කරණීය මෙත්ත සූත්‍රය කිව්වා. පහුවදා නැගිටිනකොට බාප්පට උණ තවත් වැඩිවෙලා. අපි බාප්පව රෝහල් ගත කරන්න තීරණය කලා. බාප්ප කියනවා - ගේ ඉස්සරහ පොල් පැලේ මැරිලලු. වලක් කපන්නලු - පොල් ලෙලි දාලා. වෙසක් පෝය සිහි වෙන්න පොල් පැලයක් ඉන්දන්න. මේ ඉල්ලීම ටිකක් වෙනස් නිසා - මම වැස්සෙම ගිහින් වලක් කැපුවා. පොල් ලෙලිත් දැම්මා. වැස්ස නොබලා ඇවිත් බාප්පා පොල් වලේ පොල් පැලයක් හිටෙව්වේ පොල් පැලයට හොදටම වැදලා. තාත්තාට මේ වැඩේට තරහ ගියත් - මම වැස්සෙම මේ ඉල්ලීම ඉටු කලේ බාප්පා සතුටු වෙන දේවල් ගැන මම හොදටම දන්න නිසා.


කොහොම හරි බාප්පාව රෝහල් කීපයකට ඇතුල් කලත් - එයාගේ රෝගයට අදාල විශේෂඥ දැනුම හිග නිසා අන්තිමට කුරුණෑගල මහ රෝහලට ඇතුල් කලා. මේ රෝහලෙන් බාප්පා දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරලා. ගෙදරින් කථා කරනකොටත් මම රස්සාවෙ - අලුත් රස්සාව, නිවාඩු නැහැ. පරක්කු නොවී කුරුණෑගල රෝහලට මම ආවා. බාප්පාගේ ඇග පුරා බට ගහලා. දොස්තර නොනලා මහත්තුරු ඉස්පාසුවක් නැතුව වැඩ. බාප්පා මගේ අත අල්ලන් අඩනවා පොඩි එකෙක් වගේ. කවදාවත් මම එහෙම ආඩම්බර බාප්පා අඩනව දැකල නැහැ. බොහොම අමාරුවෙන් කදුලු නවතන් - මම කිව්වේ , “බාප්පේ අපි මේකට ධෛරයෙන් මුහුණ දෙමු කියලා විතරයි, “’. රෝහලේ වැඩි වෙලාවක් ඉන්න එතන ඉන්න කාරුණික කාර්‍ය මණ්ඩලය අවසර දෙන්නේ නැහැ. නමුත් බාප්පා එතන දොස්තර නෝනට අඩ ගහල කියනවා - “මිසී - මේ මගෙ ලොකු පුතා : එයා ඉංජිනේරු මහත්තයෙක් “ කියලා. කොහොම හරි කැළඹීමකින් තොරව හිත හදාගෙන වාට්ටුවෙන් එළියට ආවේ බාප්ප වෙනුවෙන් දැන් කරන්න ඉතිරිවෙලා තියෙන ගොඩක් දේවල් - ආගමික අංශයට බාර නිසා - ඒවා ටික ඉක්මනට කරගන්න බලාපොරොත්තුවෙන්. ගිය සිකුරාදා වැඩ ඉවර කරල බුදු පිළිම වහන්සේ නමකුත් වඩම්මගෙන මම ගෙදරට එනකාට පාන්දරත් වෙලා. සෙනසුරාදා උදේ ආරණ්‍ය පන්සලට අම්මා හදපු දානෙත් අරන් පිළිම වහන්සේත් වඩම්මන් - බාප්පා අත ගහපු පිරිකරත් එක්ක යනකොට මග හරහට අත්තක් කඩන් වැටිලා හුලඟටද කොහෙද. ඒත් නිමිති විද්‍යාව අනූවනම් - මේක අසුභ ලකුණක්. කොහොම හරි පන්සලට ගිහින් පූජා කටයුතු නිමා වෙලා ස්වාමින් වහන්සේත් එක්කම මම රෝහලට ගියේ බාප්පගේ මිනිය බාරගන්න නම් නෙමෙයි. නමුත් මම වාට්ටුවට යනකොට බාප්පා වාට්ටුවේ නැහැ.

ස්වාමින් වහන්සේ හිටපු නිසා ඇඩුවේ නැතත් - මට ඕනේ වුනේ එළියට ගිහින් ඇති වෙනකන් අඩන්න. ඉතිං ස්වාමින් වහන්සේට වාහනේ ඇතුලේම කිරි පැකැට් එකකුයි, එළවළු රොටියකුයි පිළිගන්නලා - රෝහලේ උපත් මරණ ලේකම් තුමිය වෙත ගියේ හරිම හැගීම් බරවයි. එතෙන්ට යනකොට මේ ගෑණි දුප්පත් පහේ ගමේ ගොඩේ වගේ පෙනුමක් තිබුන මනුස්සයෙක්ට ගෙම්බර් දානවා - උපත් ලියන කොල ඉවරයිලු, පොටෝ කොපියක් ගහගෙන ආවොත් ලියන්නන්ලු - නැත්නම් කැමති දෙයක් කරගන්නවාලු. මේ මනුස්සයා කොහේද දුර ගමක. තමුන්ගේ බිරින්දැ අලුත උපන් දරුවත් එක්ක රෝහලා කැඩුනු පුටුවක ඉන්දෝලා - ඉහින් කටින් කොට්ට පැදුරු බඩු මලු එල්ලන්, තමුන්ගේ ලෙයින් උපන් දරුවා ලියා ගන්න හදන්නේ පුදුම දුකක් විදලා. බැරිම තැන මම ගෑනිට කිව්වා - නෝන මහත්තයෝ !!! ලියාපදිංචි කොරණ කඩදහි ගෙනල්ලා පිලිවෙලකට තියාගෙන හරි හමන් වැඩක් කරන්නයි තොපිට පඩියක් දෙන්නේ. මේ කොල අවශ්‍ය තරම් මුද්‍රණය කරලා තියාගන්න එක, පොටෝ කොපි ගහගන්න ඒක මේ මිනිස්සුන්ගේ වැඩක් නෙමෙයි - ඒකට තමයි පඩි දීලා ඔබතුමිය ඔතන ඉන්දලා තියෙන්නේ කියලා. !!! ඔයින් මෙයින් බාප්පගේ කඩදාසි ටිකත් ලියාගෙන මොචරිය ගියාට - හර්ස් එකකටත් එන්න කියලා. මොචරියෙන් මිනිය ගන්නකොටත් බාප්ප හිනාවෙනවා. ඉතිං මිනිය දාගත්ත විතරයි - මුන් සල්ලි ඉල්ලනවා. මම ඇහුවා - මොකටද කියලා. මහත්තයා - අපි මිනිය පරිස්සමට තියාගත්තනේ !!! තොපිට සත පහක් දෙන්නේ නැහැ කියලා - හර්ස් එකට මිනිය දාලා හාමුදුරුවොත් එක්කම අපි මල් ශාලාවට ආවේ ලංකාවේ රොහල් වල ඇතැම් කාර්‍ය මණ්ඩල වල අසීමිත කාරුණික බවත් - ඇතැම් සේවකයින්ගේ නොහොබිනා උද්දච්ඡ කමත් කියන දෙකම අත්විදින ගමන්මයි.

ගෙදෙට්ට බාප්පා එන කොට ගමේ අය ඔක්කොම ඇවිත් - අපිට අමුතුවෙන් කියලා කරන්න දෙයක් නැහැ. ඔක්කොම සැරසිලි කරලා, මඩු අට්ටාල ගහලා, විදුලි බුබුලු ආලෝකය සපයලා - කෑම බීම, ඔක්කොම පිළියෙල කරලා. ඇත්තටම අපේ ගමේ තියෙන මේ චාරිත්‍ර, දුකකදී සැබෑ එකමුතුකම වෙන කිසිම ගමක නැහැ කියන්නේ බොරුවට නම් නෙමෙයි - හරිම ආඩම්බරයෙන්. අවමංගල්‍ය උත්සවේ සියලු වැඩ වලට ගමේ උදවිය දායක වෙන්නේ ස්වේච්ඡාවෙන්ම හැගීමෙන්මයි. වලේ කටයුතුත් එහෙමමයි. ඉතිං ඒ ගැන ලොකු බරක් තිබ්බේ නැහැ. යන්තම් හෝ බරක් වුනා නම් වුනේ - ගමේ මිනිස්සු මහන්සියෙන් කරන කටයුතුවලින් ලකුණු දාගන්න - දේශපාලන බලවතෙක් පොඩි හොටක් දාන්න හදනකොට විතරයි. ඒ අතරම සිත් රිදවීම් වලින් තොරව - දේශපාලන අරමුණු වලින් මිනිය බේරගන්න අකමැත්තෙන් වගේ දේශමාමකයෙක්ට මිනියට පොඩ්ඩක් අතගහන්න දුන්නේ බාප්පට පින් පිනිසමයි. 


මේ මල ගෙවල් අතර තවත් සමහරුන්ගේ හැසීරීම් හරිම ජුගුස්සාජනකයි. මගේ පරණ මිතුරෙක්ගේ මව් පිය යුවලක් සොහොනට එනකම්ම ඇවිත්. ඉස්සර ඉස්කෝලේ යන කාලෙනම් මේ ඇන්ටියි අන්කලුයි කරන්නේ මගේ ගැන ඇවිත් අම්මට කේලම් කියන එක. අම්මා ඉතින් වයින් වෙලා දඟලනවා. ඉතින් මේ පාරත් මේ දෙන්නා මොන බාල්දියක් පෙරලන්නද හදන්නේ කියලා භයත් හිතුනා. ඉස්සරත් දෙන්නා ආපු වෙලේ ඉදන් පුදුම සෙනෙහසින් මගේ විස්තර අහන ගමන් මාවයි - එයාගේ පුතයි සන්සන්දනය කරනවා. දැන් මරණය ඉවරවෙලා, සොබනයට සොහොනට ඇදපු ඇඳුනුත් - ගෙදර ගිහින් මාරුකරන්ම ඇවිත්. ආයෙත් සන්සන්දනය පටන් ගන්නයි දෙන්නගේ ලෑස්තිය. කාරුණිකව මේ අනුවණ මිනිසුන්ට සංග්‍රහ කරලා - වැඩ කටයුතු ඉවරවෙලා හරිම කම්පාවෙන් ඉන්නකොට - මුන්දැ මට කිට්ටු කරලා, දැන් මගේ පඩියයි - රස්සාවයි - රස්සාවෙන් මොනවා ලැබෙනැවැදැයි ; තොර තෝංචියක් නැතුව අහනවා. ඒ ගමන්ම තමුන්ගේ පුතාගේයි එයාගේ නෑදෑයින්ගෙන් සාර්ථකත්වය ගැන කියනවා. මම තවදුරටත් ඉගෙන ගන්නවද ? මොනවද සැලසුම් ? බදින වසස පහු වෙලා නේද ? අපේ පුතාටනම් බබෙක් ඉන්නවා - තවත් එක්කෙනෙක් හදන්න කිව්වා - ඔයා ඉතිං පොඩි කාලේ ඉදන් විකාර වැඩනේ කරන්නේ - ඉගෙන ගන්නෙත් නැද්ද, තව මොනවද කොරන්නේ අපිට නම් තේරෙන්නේ නැහැ, කැම්පස් ගියත් හරියට කරගත්තේ නැහැ නේද, තවත් වයස යවන්නේ මොනවද - ඔයා කවදාවත් දෙමව්පියන්ට නිදහසක් දෙන්නේ නැද්ද - ප්‍රශ්ණ කෝටියයි. බේරෙන්න විදියක්ම නැහැ. මේ මිනිස්සු මල ගෙදරක මල බත ඉදෙන්නත් කලින් මේ වගේ අමණ ප්‍රශ්ණ අහ අහ සන්සන්දනය කරන්න හදන්නේ තමුන්ගේ දරුවෝ ගැන හිතලා තෘප්තිමත් වෙන්න විතරක් නම් කමක් නැහැ. මේ මිනිස්සු මේවා අසමින් රස කර කර කියමින් කියමින් අපි නැති තැන - ගැරහීමටත්, අපේ comfort zones වලට රිදවීමටත් පැකිලෙන්නේ නැහැ. අන්තිමට මේ දෙන්නා නිහඩ කරන්න වුනේ මමත් එච්චර කැමති ක්‍රමයකට නෙමෙයි. හැබැයි ඒ ගැන මගේ කිසිම පසුතැවීමක් නම් නැහැ. මොකද මම කරපු දෙයින් අපි දෙගොල්ලන්ටම සාමයක් සතුටක් ලඟා කරන නිසා.

Tuesday, September 24, 2013

හරක් කතාවක්

බෝවත්තේ අපේ ඉන්ද්‍රරතන හාමුදුරුවන්ගේ ක්‍රියාව ගැන මේ දවස්වල ලොකු කතිකාවතක් යනවා. මේ හාමුදුරුවන්ගේ ක්‍රියාව පල විරහිත ක්‍රියාවක් වගේම මොඩ කමක් කියල කොටසක් කියනකොට අනික් අය කියනවා මේක අගය කලයුතු ක්‍රියාවක් ගව ඝාතනය නැවතිය යුතුය කියලා. අපේ හාමුදුරුවෝ කාලයක දේශපාලනය මූලික වෙච්ච සිංහල ජාතිකවාදී පක්ෂයක තනතුරු දැරූ පුද්ගලයෙකු නිසා මේක දේශපාලන හා ජාතිවාදී ස්වරූපයකුත් අරන්. හාමුදුරුවන්ගේ නොබිය හැසීරීමෙන් තමන්ගේ මඩිය තරකරගන්නත් තමන්ටත් ඒ කීර්තියෙන් කොටසක් අත්කරගන්නත් දගලන අය දැන් ගොඩ ගැහිලා. ඒ අතර විවිධ රූපවාහිනී මාධ්‍ය විවිධ සංවිධාන හා දේශපාලන පක්ෂම ගොඩක්. මේ අතරට විලි සංගේ නැති පාර්ලිමේතු මන්ත්‍රීවරුත් රිංගන්න හදන්නේ උන්නාන්සෙගේ දර සෑයෙන් හරි අවස්ථාවාදීව තමන්ගේ ගිලිහී යන ප්‍රතිරෑපය නංවගන්න. හැබැයි උන්වහන්සේගේ වියොවේ සෑබෑම වේදනවා දරන්නේ අපි හැමෝගෙම වගේ උන්වහන්සේගෙත් අම්මා. ඉතිං අම්මේ ඔබේ පුතා දිවි පූජා කලේ තවත් කිරි අම්මාවරු ගොඩකට ජීවිතය ගෙන්න ගන්න කියන මතය දැනටමත් රටේ පැතිරිලා නිසා ඒ ගැන ගොඩක්ම කම්පාවීම සුදුසු නැහැ කියලයි හිතෙන්නේ.කවර ආකාරයකින්වත් උන්වහන්සේගේ අධිෂ්ඨානය හෝ මුඛ්‍ය පරමාර්ථය හාස්‍යයට උපහාසයට හෝ අගෞරවයට ලක්නොවෙන්නක්. උන්වහන්සේගේ අභීත බව ගැන කිසිම විවාදයක් නැහැ - කවර දේශපාලන පක්ෂයක කවර ජාතික වාදී සංවිධානයක කවර මානසික තත්වයක හිටියත්, සංඝයා වහන්සේ නමක ලෙස අපේක්ෂිත හැසිරීමෙන් කොතරම් අපගමනය වුනත් - මොකද උන්වහන්සේගේ මුඛ්‍ය අරමුණ උන්වහන්සේම කියන විදියට ගව ඝාතනය වලකන එක සදහා රටේ මිනිසුන්ගේ හා පාලකයින්ගේ අවදානය දිනා ගැනීම කියන පරාර්ථකාමී අදහස නිසා. ඒක ඇත්තටම කොතරම් පරාර්තකාමීද කියන එක අපි ගර්හාවට ලක්කල යුතුත් නැහැ සැක කලයුතුත් නැහැ - සැක කලත් පලකුත් නැහැ. උන්වහන්සේගේ මරණය ඇත්තටම රටේ මේ පිළිබදව ලොකු කතිකාවක් ඇති කරල කියල මම දැක්කේ රට වටේ වෙසක් උත්සව හා අන්තර්ජාලයේ සමාජ ජාල අඩවි වල ගව ඝාතනය ගැන ඇති කතා වාද විවාද නිසාමයි.

මේ ක්‍රියාවට පක්ෂව හා විපක්ෂව සාර්තක බිඳිය නොහැකි තර්ක එමටයි. අපිට සතෙක් මැරීම වේදනාවට කාරණයක් හිංසාවට අකමැත්තක් වගේම හරක් මස් කන උදවිය හෝ මරණ උදවිය නවත්වීමත් කල නොහැකියි - ඒ අයගේ අවබෝධයකින් හෝ එකගතාවයකින් තොරව. කරුණු කාරණා කොහොම වුනත් කොමෙන්ට්ස් දැක්කහම මට හිතුනා මේ ගවයෝ ගැන ගොඩක් අය එක එක කතා කියන්නේ හරියට අපේ කම කියන එක නොදැන කියලා. මට දැනුත් මතක් වෙනවා මගේ කුඩා කාලේ. අපේ සීයට කරත්ත තිබ්බා. ගොන් කරත්තේ තමයි ඒ දවස් වල දුප්පත් පොහොසත් හැමෝගෙම වාහනේ. මට මතකයි මලියදේව ඉස්කෝලෙටත් පුවක්ගස්හන්දියෙන් බැහැලා මම ගියේ කරත්තේ. ඒ වැඩි කාලයකට ඈත නෙමෙයි 1987 අවුරුද්දේ. මේ කාලේ වෙනකොට විවෘත්ත ආර්තික විසබීජේ නැත්නම් රෝගය අපේ ගෙවල් වෙලාගන්න පටන් අරන්. මොකද ටිකක් කල් යනකොට කරත්තේ එනවා කියන්න අපිට ලැජ්ජා හිතෙන්න ගත්තා. School Van එකේ එනවා කියපුවාම හරිම ආඩම්බරයි. මීට අවුරුදු 25 කට කලින් වෑන් එකක් කියන්නේ පාරේ දකින්නත් නැති දෙයක්. කාර් එකක් යන්නෙත් ඉද හිට. අපේ වත්තේ පොල් අදින්න කුඹුරේ සී සාන්න මේ හැමදේටම එදා ආවේ හරක්. අනේ මන්දා මේ ඉතිහාසය කියනකොට ගොඩක් අය අපිට ගරහයිද දන්නෙත් නැහැ. මට මතකයි කොළඹත් ඒ කාලේ ඔය කතන්දරේ ඔහොමමයි. භූමිතෙල් කරත්ත පාසැල් කරත්ත ඔක්කොම හරක්ම තමයි. අපේ රටේ පොෂ් අශ්වයෝ නෑනේ. හිටියත් ලංකාවෙම පවුල් කීපයක විතරයි මගේ හිතේ. මේ හරක් බෙටි ගහනවා පාර පුරා. ඉතිං අපිට හිරිකිතක් එන්න ගත්තා. නමුත් අපිට පෙර පරම්පරාවට ගොම් බෙටි ගද ගහන අපහාසයට ලක්කල යුතු අපිරිසිදු දෙයක් වෙලා තිබුනේ නැහැ. අපි තව දකිනව මේ හරක් චූ කරණව පාර පුරා. පිලිකුළුල් හිතෙනවා. ඇයි ? අපිට සන්සන්දනය කරන්න දේවල් LuXury දේවල් දැන් අපි අතරට ඇවිත්. කාර් වෑන් පාරේ චූ කරන්නේ නෑනේ.

මට මතකයි තාත්තා උදේට office යන හැටි. වැස්සි - එයාට මම කිව්වේ පොඩි කාලේ කලු ඇන්ටි කියලා. අපේ අම්මා කලූ වැස්සි කියන එක කලු ඇන්ටි කියලා පොෂ් කරලා ආදරේ නිසාම. කලු ඇන්ටි හරිම අහිංසකයි. අන් දෙකේ එල්ලුනත් හොල්ලන්නේ නැහැ ළමයට රිදෙයි කියලා. තාත්තා ඉතිං හැමදාම උදේට කලුඇන්ටිට කොස් අතු කපලා දෙනවා ලුණු දාල. එහෙම කරන්නේ කලු ඇන්ටිට හොදට කිරි එරිලා නිසි පොෂණ මට්ටමක් රදවගන්න. ඊට පස්සේ තාත්තා කිරි දොවනවා. අනික් වැස්සියෝ වගේ නෙමෙයි - කලු ඇන්ටි කිරි දොවනකොට දගලන්නේ පයින් ගහ්න්නේ නැහැ. කවදාවත් පැටියට නැතිවෙන්න කිරි ගන්නෙත් නැහැ. ඊට පස්සේ කිරි උණු කරනවා. හරිම සුවදයි. හරිම ගුණයි. අපේ අත්තම්ම (මම්ම) කවදාවත් ගෙවල් වලට මස් ගන්නේ නැහැ. අවුරුද්දකට කවදාවත් කොකිස් හදන්නවත් බිත්තරයක් කඩලා දාන්නේ නැහැ. ඒ ගොල්ලේ වචනේ පරිසමාර්ත අර්තයෙන් මොකක්දෝ නිසා එහෙම හිතන්නවත් බයයි. කිරි නැත්නම් කරවල තමයි ඉතින් අනිත් Protein source එක. ඔය කාලෙමයි අපේ ගෙවල් වලට TV එහෙමත් ආවේ. දැන් ජලවිදුලියත් නිපදවෙන නිසා ගෙදෙට්ට ලයිට් ගත්තා 1987. ගොඩක් ගෙවල් වල TV නැති නිසා ලඟ ගෙවල් වල ලමයිනුත් එනවා TV බලන්න. මෙන්න බොලේ යනවා - ඇඩ් එකක් - ඇන්කර්ලන්තයෙන් නවසිලන්තයෙන් Anchor කිරි ගෙනෙන්නේ කියලා. හිම කදු මැද්දේ ලොකූ ලස්සන එළ දෙන්නු. බටර් - කරිපිටි වලින් හදන කිරි, ඇපල් දොඩම් විතරක් තියෙන පලතුරු කූඩේ, ලස්සන අම්මි, handsome තාත්ති - මැද්ද සුදු ලස්සන බබා , පිස්සු හැදෙනවා. මේ ව්‍යාජ රූපවාහිනී මූලික වානිජ රැල්ලේ මුලින්ම victims ලා වුනේ ගෙවල් වල අම්මල - නැත්නම් ගැහුණු උදවිය. ඒ අයට මේවා හරිම සංවේදියි. මොකද රෝසි නැන්දගෙද කොහෙද ලස්සන සුදු බබා හැදිලා තියෙන්නේ ඇන්කර් කිරි බීලා - පාන් එක්ක ඇන්කර් බටර් කාල ඇපැල් ගෙඩියකුත් එක්ක උදේට. මේක දැක්කාම මටත් කලු ඇන්ටිව ටික කාලෙකට එපා වුනා. හැබැයි වහු පැටියා මගේ යාලුවා. එයා මාව බලන්න ලෙහපු ගමන් කුස්සියටම දුවගෙන එනවා ලණුවත් පිටින්. කුස්සියේ තියෙන හැලි වලනුත් පෙරලලා බිම ගොමගාපු කුස්සිය ඇතුලේ චූත් කරල තමයි එයා එලියට යන්නේ. මේ සෙල්ලමත් හැමදාම ඉවසන්න බැහැනේ. අපේ අම්මා යම් තරමක නාගරික පසුබිමක හැදිලා තිබුන නිසා එයාට ඒවා එච්චර ඇල්ලුවෙත් නැද්ද මන්දා. මෙන්න ටික කලකින් යනවා ප්‍රචාරයක් එළ කිරි බීපුවාම සෙම එනවලු. ඇත්තටම මේකට පොඩි උපක්‍රමයක් එදා ගමේම තිබුණා. ඒ තමයි හල් පොතු දාලා මේ කිරි උණු කරන එක. එතකොඩ සෙම කතා බංගයි. කොහොම හරි මේ සෙම කතාවත් එක්කම අපේ ගෙදරත් නවසිලන්තෙන් එන නැවුම් එළකිරි පිටියි කහ පාට බටරුයි ආදරෙන් වැලදගත්තා. තාත්තටත් අමාරුයි ආදායමත් මදි - නමුත් පොෂ් එකයි හිතේ ගුණෙයි තියෙනවනේ. ලගදි තමයි දැනගත්තේ ගොඩක් දියුණු රටවල පිටි කරි පාවිච්චිය අඩුයි කියලා. ඒ ගොල්ලෝ පාවිච්චි කරන්නේ දියර කිරි.

අපේ ගේ කිට්ටුවම තමයි නෙස්ලේ කියන බහු ජාතික සමාගමේ පිටි කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව තියෙන්නේ. මම දන්නවා අපේ ගෙදෙට්ට එහා ගෙදර නීල් අයියා එයාගේ පට්ටියෙන් කිරි එකතු කරන හැටි. එයා ඒවා කල්තබාගන්න රසායන ද්‍රව්‍යයක් දානවා - කිරි ලොරිය එනකම්. ඒකට කියන්නේ කොම්පැනියෙන් දෙන ඇසිඩ් කියලා. මේ ඇසිඩ් එක දාලා තියාගන්න කිරි වලට වතුරත් දාලා දෙනවා සමහරු නම්. ඉතිං ඒ කිරි ඉසිර විදිනයෙන් වියළලා හදන පිටි වල තියෙන්න පුලුවන් මොනවද කියලා ඔයාලම හිතලම බලන්නකෝ. ඊට පස්සේ හොදම වැඩේ කියන්නේ - ගමේ අය ගිහින් කොස් ගස්හන්දියේ කඩෙන් Nestle කියලම කිරි පැකට් එකක් අරගෙන - Lactogen කියලා කිරි සප්පයටත් පැකැට් එකක් අනික් අතේ තියාගෙන, කසිප්පු වඩියක් ගහලා හම්බ කරගත්තු තුට්ටුව වියදන් කරල කඩ පොලේ ඉදන් ගෙදර එන්නේ පුදුම උජාරුවකින්. ගමේ උදවියට නීල් අයට රුපියල් 2 ක් 3 ක් දීලා කිරි බෝතලයක් ගන්න එක මදි කමක්. එහෙම කරන්න ගියාම නීල් අයියටත් පාඩුයි. අපේකම සල්ලි වලට ගත්තු බහුජාතික සමාගම් අපිටත් හොරෙන් තමයි අපේ ආකල්පත් වෙනස් කරලා අපේ ආදරණීය කලුඇන්ටිලටත් ගරහල - කලු ඇන්ටිලා, රත්තිලා, කලූලා BEEF කරලා, එළකිරි කියන නමත් භාවිතෙන් ඉවත් කරලා - NESTLE, ANCHOR කියල කිරි Brand කොරලා අපේ තාත්තලට අවුරුදු 50 පණිනකොට ඇගේ පතේ හයියත් අයින් කරලා දාන්න කටයුතු කළේ. කියන්නත් ලැජ්ජයි - අපේ අම්මට Anchor නැතුව උදේට නැගිටින්නත් පණ නැහැ. මම දිගටම බෝඩින් වල ඉන්න හුරු වුනා - කම්මැලි කමට කිරි හදන්නේ නැතුව හිටියා. මේ ආකල්ප පරිවර්තනය යන්තමින් වත් දැකපු අවසාන පරපුර අපි. ඉතින් ගව මස් කාපුවම මොකද? කුකුලා හොදනම් හරක නරකද? මීනී මරණකොට ඇයි දිවි නහගන්න බැරි? ගොඩක් අයට මේ ගවයෝ ගැන තියෙන ආකල්පය සාදාරණයි. මොකද මේ සත්තු ඒ ගොල්ලන්ගේ ජීවිත සටනේ සහකරුවෝ වෙලා නැහැ කවදාවත්.

ඉතිං කලු ඇන්ටි නැති වුනා වයසට ගිහින්. මට මතකයි කලු ඇන්ටි එක තැන් වෙච්ච හැටි. වත්තේ වැඩ කරන චාලිං ආත්තා මහතුං තුංග අබේ ඔක්කොම ඇවිත්. මේ ගොල්ලේ හරක් සාත්තරේ දැනං හිටපු අන්තිම කට්ටිය. චාලිං ආත්තා අලි මන්තර - කිඹුල් මන්තර අනන් මනන් මන්තර ඔක්කොම දන්නවා. එයා නොදන්න බෙහෙතක් නොඅදුනන පැලයක් නැහැ. මේවා ගැන දැන් අය කොහොමවත් විශ්වාස කරන්නේ නැහැ. අන්තිමට කරුත් හිටවල මේ එළදෙන කෙලින් තියල බෙහෙත් කරලා කරලා -අන්තිම දවසේ මම පේර කොල කොටලා බෙහෙතක් හදල කලු ඇන්ටිට පෙච්චා. ඒත් කලු ඇන්ටි බිව්වේ නැහැ. කලු ඇන්ටි කාලාක්‍රියා කරා. ඒ මම හොදටම හොරෙන් අඩපු එක දවසක්. එයාගේ පැටියා මොරනකොට දඟ නිසා තාත්තා හදන්න බැහැ කියලා කවුද මනුස්සයෙකුට දුන්නා. උන්දෑ මොනවා කලාද කියල මම දන්නේ නැහැ. නමුත් මම දන්නවා - අපේ ගෙදර විතරක් නෙමෙයි ගමේ ගොඩක් ගෙවල් වල හරක්ට හරිම ආදරෙන් ගෞරවෙන් තමයි සැලකුවේ. හරක් මස් ගෙදරකට නෙමෙයි - අහලකටවත් ගත්තේ නැහැ. අවුරුද්දට නාවලා කොහොඹ තෙල් ගාලා - නාස් ලණු මාරු කරල ගෙජ්ජි එල්ලලා - හරිම ආඩම්බරෙන් තමයි හරක් කණු කරලා තියන්නේ. ඒ ගොල්ලොත් එහෙමමයි. මේ සත්තු හරිම බුද්ධිමත්. තමුන්ගේ හාම්පුතා හොදට අදුනනවා - හාම්පුතාට හරිම ආදරෙයි. අපිත් මැක්ඩොනල්ඩ් එකට ගියාම, Queens එකට ගියාම, ඔය සබ්මැරීන් - අනන් මනම් කොත්තු කියපුවාම - BEEF කියද්දි කටටත් කෙල උණන තරමට අපේ ආත්මාර්තකාමී සංවේදී නොවන ආකල්ප වෙනස් වුනාට තාම සමාජෙ ඉන්නවා පිරිසක් මේ සත්තුන්ට ආදරය කරන. ඒක තමයි මම මේ හාමුදුරුවන්ගේ මරණයෙන් දැක්ක දේ.

මම හිතන්නේ හරක් මරණ එක හරිද මස් කන එක වැරදිද ඒක ජාතිවාදීද නැද්ද සංස්කෘතියට එකගද නැද්ද කියලා හොයන එකේ තේරුමක් නැහැ. අපිට වෙච්ච දෙයක් ආපහු හරවන්න බැහැ. ඉන්ද්‍රරතනහිමියන් ආයෙත් නැගිට්ටවන්නත් බැහැ. නමුත් මම කැමතියි හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනය මේ රටේ ප්‍රායෝගික යථාර්ථයක් වෙනවනම්. මට මතකයි මෑත පහුගිය කාලයකදි රූපවාහිනියෙන් ගියා දැන්වීම් එළ කිරි බොන්න කියලා. හැමදාම මේ රටේ නායකයෝ ප්‍රතිපත්ති හදන උදවිය කරන්නේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහන එක. වැරදි බොරු ජඩ වෙළද දැන්වීම් දාන්න දීලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරෝලා - ගොම කැතයි, කිරි කැතයි, හරක් ගදයි, එළකිරි සෙමයි - කියන පුහු ආකල්ප සමාජය තුල වපුරලා වපුරලා දැන් එළ ගවයෙකුත් දකින්න නැති තැන කියනව එළකිරී බීලා Gym පලයල්ලා කියල තරුණ පරපුරට. ඉතින් එහෙව් රටට ගවයා - ගවයාගේ උපයෝගිතාවය, උගෙන් ජාතික පෝෂණයට ලැබිය හැකි අමිල දායකත්වය පිළිබද හිතල, මීට වඩා අවබෝධයෙන් කරුණු කාරණා දිහා බලලා කටයුතු කරන්න තරම් ණුවණක් පාලකයින්ටත් පහල වෙනවනම් උන්වහන්සේගේ ජීවිත පූජාව ජාතීවාදී හෝ පලවිරිහිත හුඹස් ක්‍රියාවක් වෙන එකක් නැහැ කොහොමටවත්...

Monday, September 23, 2013

ජීවන කුසලතා

අපිට ඉස්සර ඉගැන්නුවා ජීවන කුසලතා කියලා විශයක්. මේකට ඉගැන්නුවේ ලියුම් කවරයක් හදන්න, ඇඩප්ටර් එකකට වයර් කෑලි අමුණන්න, කොල කපලා ලියුම් රදවනයක් හදන්න, වගේ මේ ලෝකේ මෙලෝ යකෙකුට අයාසයකින් තොරව ඉගෙන ගන්න පුලුවන් විකාර දේවල්. මේක එක උදාහරණයක් විතරයි ලංකාවේ අද්‍යාපන ක්‍රමයේ පවතින ප්‍රායොගික හා උපයෝගී නොවන බවට ගත හැකි. ඇත්තටම පාසැල් කාලයෙන් විශාල කොටසක් ගතවෙන්නේ මේ වගේ වැදගත් නොවන ජීවිතයට කිසිදින උපකාරී නොවන දේවල් වලටද කියලත් වෙලාවකට හිතෙනවා.

කොහොම වුනත් ජීවන කුසලතා පාසැලේදී ඉගැන්වීමනම් ඉතා හොද අදහසක්. මොකද ගොඩක් කුසලතා පවුල තුලින්ම පමණක් දරුවෙක්ට ලැබෙන්නේ නැහැ. හොදම උගත් යහපත් ආර්තිකයක් ඇති පවුලක වුනත් දෙමව්පියන් සතු ආකල්ප හා දක්ෂතා වෙනස්. ඔවුන් විසින් දකින වටිනාකම් වෙනස්. සමහර දෙමවුපියන්ට දරුවො හැදුනත් එකයි නැතත් එකයි. රටක් ලෙස අද්‍යාපන ක්‍රමයක් ගොඩනගන්නේ යහපත් බුද්ධිමත් කුසලතා පිරි සතුටින් සිටින නිරෝගී අනාගත පරම්පරාවක් ගොඩනගන්න කියල හැමෝම කියනවනේ. ඉතිං දෙමව්පියෝ මතම දරුවන්ගේ ජීවන කුසලතා රදවලා තිබ්බොත් මොනවගේ අයද හැදෙන්නේ කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැ - පාර්ලිමේන්තුවේ ඉන්න සමහරු දිහා බලපුවාම පේනව. ඉතිං මේ රටේ අද්‍යාපන ප්‍රතිපත්ති සකසන උදවිය සැබෑ ජීවන කුසලතා කියන්නේ මොනවද කියල අදුනගන්න තරම් මෝරපු බුද්ධියක් තියෙන උදවිය වුනොත් විතරයි අපිට මේ කියන අභියෝගය ඇත්තටම දිනන්න වෙන්නේ.

ලංකාව වටේට මුහුද - හතරදිග් බාගේ වලවල් වැව් අමුණු. අපි කීදෙනෙක්ට මීටර් 10 ක් පීනගන්න පුලුවන්ද කියල හිතන්න. පැයක් දෙකක් නෙමෙයි විනාඩි 10 බේරගන්න එනකන් මුහුදෙ ජබුගගහවත් ඉන්න දන්න එක්කෙනෙක් ඉන්නවනං හොයාගන්නේ වෙන්නේ හරිම අල්පවයි. අපේ සාක්ෂරතාව 100% කොම්පියුටර් දැනුම 100% AL – world rank ලු. හැබැයි මේ පණ්ඩිතයොන්ට ඒ දණ්ඩෙනම් යා ගන්න අමාරුයි වගේ. මේ අදක්ෂතා නිසා නාවික හමුදාවේ රණ විරුවගේ ඉදන් ගඟ ලඟ දඟයට එනකන් විවිධ තරාතිරමේ උදවිය දවසකට බර ගානක් ගිලිලා මැරෙනවා - උදව්වක්වත් දීගන්න කවුරුවක්වත් සිල්පෙ දන්නේ නැහැ. අන්තිමට අඩි හතරට ගිලිච්ච අය හොයන්නත් නාවික හමුදා කිමිදුම් සූරයො අවශ්‍ය වෙනවා. ඒ වගේම දෙයක් තමයි - communication skills කියන එක. ගැහැණු පිරිමි අතර පවතින ආකල්ප පරතරය, ගරු සරු ඇතුව කතා කරන ආකාරය, පාරක් අහපුවාම වචන පටලගන්නේ නැතුව කෙනෙක්ට හරියට විස්තරයක් පෙලගස්සගන්නා ක්‍රමය, ගෙදරක අදහස් හුවමාරු කරගන්න විදිය, නිහඩ වෙන්න ඕනේ වෙලාව, කතාකරන්න ඕනේ වෙලාව, සාදාරණව ගැටුමක් නිරාකරණය කරගන්න විදිය, කණ්ඩායම් වැඩ, නායකත්වය - මේ වගේ දේවල් වලට පුහුණුවක් අදහසක් සමහර පාසැල් වලදි ලැබුනට අනෙක් ගොඩක් පාසැල් වලට එහෙම දෙයක් ගැන අදහසක්වත් නැහැ කියලා හිතෙන අවස්තා එදිනෙදා ජීවිතේදීනම් එමටයි. සමහර ගුරුවරුන් ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේම නැහැ. තවමත් ගොඩක් අයට ඇත්තටම දිග දුර කාලය අවකාශය ඉඩ පිළිබද හැගීමක් නිවැරදි අනුමානයක් නැහැ. පයින් යන අය කොච්චර හිටියත් - දුර ගැන යන්තම් හෝ නිවැරදි තක්සේරුවක් ගන්න තරම් තමුන්ගේ ගමන් බිමන්වත් විශ්ලේෂණය කරගන්න දක්ෂ අය අඩුයි. ඇයි ප්‍රථමාධාර - ප්‍රථමාදාර දෙන්න ගිහින් මැරිච්ච අය වැඩි ඇති බේරිච්ච අයට වැඩිය. ගොඩක් අය ප්‍රථමාධාර කියල කරන්නේ රතු කතිරෙ පෙට්ටියෙන් ගෙනත් පැනඩෝල් දෙකක් බොන එක. නැත්නම් දන්න විදියට ඉස්පිරිතාලෙකට ඉක්මනට දක්කගන්න එක. ඇත්තමටම ගින්නකදි නැත්තනම් හදිසි අනතුරකදි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, අනතුරකට ලක්වෙච්ච පුද්ගලයෙකුට උදව් කරන්නේ කොහොමද - කියන එකට දැනුම පුහුණුව හරි අල්පයි. ඉස්සර පරිසරයෙ නෙමෙයි අද අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. තට්ටු ගොඩනැගිලි වල, මහා මාර්ග වල, අධිවේගී මාර්ගවල, නැව්වල, ගුවන් යානා වල, වාහන වල, රේල්ලු වල, නොයෙක් යන්ත්‍ර සූත්‍ර කොම්පියටර් ජිල්මාට් etc etc එක්ක. හෙට මේක මීටත් වඩා වෙනස්. මේ පරිසරයෙන් අපිට නොයෙක් පෙර නුදුටු අභියෝග දැනටමත් ගෙනත්. අපි ගොඩක් දෙනෙක් සමහර අවස්ථාවල මොකක්ද කරන්න සුදුසුම දේ කියලා තාම දැනුවත් නැහැ. මේ වෙනස් වන පරිසරයේ ජීවත් වෙන්න විවිධ දක්ෂතා අවශ්‍යයි. වාහන ධාවනයට ගොඩක් අය හරි හපන්නු කියලා හිතන්නේ. මොටර් සයිකල් කාර් බස් කජු වගේ කියල තමයි බයිස්කොප් වල නලුවන්ගේ වැඩ කෑලි දැක්කාම හිතෙන්නේ. ලයිසන් එකක් සතියෙන් ගොඩ දාගන්නත් ක්‍රම තියෙනවානේ. ඇත්තටම සාමාන්‍ය පාරවල් වලට වඩා highways වල ධාවනය කරන්න වෙනම පුහුණුවක් දැනුමක් අවශ්‍යයි. අධිවේගී ධාවනයේදී ඇහැ තබාගත යුතු ආකාරය, හිස පැවත්විය යුතු ආකරය, මන්තීරු අනුමාන කරන ආකාරය, සාපේෂ වේගය, වංගු වල පවත්වාගත් යුතු වේගය, රාත්‍රී ධාවනය - සැර ආලෝක කදම්බ වලට මුහුණ දෙමින් ධාවනය කරන ආකාරය - එකි මෙකී නොකී නොයෙක් ධාවන දක්ෂතා පිලිබද හැගීමක් තිබිය යුතුයි. නැත්නම් වාහන නැති හයිවේ වලත් ඩ්‍රයිවින් ට්‍රයි කරල මැරෙන අය ගාන ඉස්සරහට තවත් වැඩි වෙන්න පුලුවන්.

ඉතිං කව්රුහරි මේ පෝස්ට් දැකපු කෙනෙක් ඉන්නවනම් අපේ ලේකම්තුමා මන්ත්‍රීතුමා ඇමතිතුමා හරහා ජනාපතිතුමාට කියන්න ජීවන කුසලතාවලට පොඩ්ඩක් වැඩි කාලයක් පාසැල් කාලසටහනේ වෙන්කරල සැබෑ ජීවනකුසලතාටිකකුත් ළමයිට පාසැලැදී දීලම එළියට දාන්න කියල. මම යනවා නිදාගන්න.

Friday, September 20, 2013

අපේ ගම

අද හැමෝම කියන චොදනාව තමා එදා ගම සුන්දරයි කියල. අද සමාජෙ ඔය කියන තරම් පිරිහිලාද ? අනේ මන්ද. ඔය හැම දේටම වගේ ඔය සුන්දරත්වයෙත් දෙපැත්තක් අපි දැක්කා. සමහර අතින් ගත්තාම එදාඩ වැඩිය අද හොදයි කියලත් හිතෙන අවස්තා එමටයි. දැනට අවුරුදු 20 කට 25 කට විතර කලින් මට අතකයි අපේ ගමට හැන්දෑව එන හැටි. රොබට් අයියා සරම කොහෙ හරි වැටකට පටලෝගෙන සරම යට එක පිටින් තමයි කන්දෙන් පහලට බහින්නේ. උන්දැ පහලට බහිනකොට මුලු ගමේම ගෙවල්වල අත්තල මුත්තල නත්තල පනත්තල හත්මුතු පරම්පරාවම මතක් කරනවා. ඊට පස්සේ ගෙදෙට්ට ඇවිත් මිනිහා පවුලත් එක්ක හොද අඩව්වක් අල්ලල පදවල් කියල පැය දෙකක තුනක නාටකයක් නටල ගෙදර තියෙන බඩු මුට්ටු ටිකයි ළමයිනුයි එළියට දාලා තමයි නිදාගන්නේ. සිමියොං අයියාගේ කොන්ඩෙ තඹ පාට වුනේ ගමේ පෙරිච්ච මධ්‍යසාරයටමයි. ඉතින් මෙහෙම ගෙවල් ඕනතරම් ගමේ එදා තිබ්බා. අපේ ගමේ තවත් ප්‍රසිද්ද කඩ පොලක් තමයි කජු කඩේ කියන්නේ ඒ කාලේ. අවුරුද්දෙ හැමදාම කජු එතන. මටත් පුදුමයි ඇයි කියල. මොකද කජු හැදෙන්නේ අවුරුදු මාසේ විතරනේ. පස්සේ තමයි දැනගත්තේ එතන තමයි අපේ ගමේ සූදු පොල. සුරාවයි සූදුවයි ලාභයට නමුත් ජයට එතෙන කෙරෙනවා. ඒ පැත්තකටවත් අපේ අම්මල තාත්තල අපිට යන්න දෙන්නේ නැහැ. මෙතන කජු තියෙන්නේ නමට. ඒ කියන්නේ නිතරම පොලිසියෙන් පනිනනව එහෙමනේ. එතකොඩ හැමදාම කජු තමයි පොලිසියට හම්බ වෙන්නේ. ඒ වගේම තමයි මෙතෙන්ට වැඩිපුර ආවේ ගමේ පැරණි කට්ටිය. සෙරෙප්පු බණ්ඩ අයියා, කජු බණ්ඩ අයියා, සාමාන්‍යෙයන් ආරොං අයියා, සයිමන් අයියි, හරමානිස් අයියා, බණ්ඩ රාළ, සිමප්පු මුදලාලී, මේ ගොල්ලො 1988 89 වෙනකොටත් හැට පැනපු අය. මේගොල්ල අතර මොනව වුනත් ජ්‍යෙෂ්ඨත්වයට තමා තැන. හැන්දෑවෙ හතර පහ වෙනකොට කට්ටියම සරම් අකුලල කජු කඩේ ඉස්සරහ ඇන තියල බිම ඉදගෙන එක්කෝ කම්මුල් වල අත් ගහගෙන නැත්නම් බිම හාර හාර බර කල්පනාවල ඉන්නෙ. මොවුන් ගොඩ දෙනෙක් කම්කරු රැකියා කරපු ඉඩම් අහිමි දුප්පත් මිනිස්සු. ජීවිතෙයි දවසෙයි සැදෑ සමය ගෙවන්න තෝරගන්නේ මෙතන.

ඇත්තටම ඒ දවස්වල අපේ ගමේ අවුරුදු කිට්ටු වෙනකොට කසිප්පු වඩිත් වැටෙන්න ගන්නවා. අපිට පොඩිකාලේ හිතාගන්න බැහැ වතු වලට පැනල මේ මිනිස්සු කජු පුහුලන් මෙච්චර එකතු කරන්නේ ඇයි කියල. පස්සෙනේ සාත්තරේ දැනගත්තේ. ඒ වගේම තමයි - නත්තල් අවුරුදු වෙනකොට ගම් ඌරො එලාගත්තු ජාකොරිස් අයිය සයිකලේ පිටිපස්සේ ඌරු ගාතේ බැදන් පාර අයිනට එන්නේ. සතා දැක්කාම ඇග වෙච්ලනවා. බෞද්ධයෝ බොහෝම ස්‍රද්ධාවෙන් තමා ඌරු ගාතෙට කරුණා කරන්නෙ. එහෙම මස් නොගන්න ගෙවල් තිබ්බා - නැතුව නොවෙයි. ඒ වගේම තමයි ගමේ කොල්ලෝ තලගොයි ඉබ්බො කොරවක්කෝ හාවො හොයාගෙන වතු වලට පනින්නේ.
මේ වගේ වැඩ ඇත්තටම එදා කළේ යමක් කමක් නැති මිනිස්සු. ඒ මිනිස්සුන්ට සමහර විට කරෝල කෑල්ලක් එක්ක හීනැටි හාලේ බතක් කනවා කියන්නේ හීනයක්. ඒ මිනිස්සුන්ට එතනින් එහා ජීවිතයක් තිබුනෙත් නැහැ. එතනින් එහාට හිතන්න අධ්‍යාපනයක් තිබුනෙත් නැහැ. සදාකාලිකවම කලේ කුලී වැඩ ඉඩම් හිමියො ලඟ. පොල් ලෙලි ගැහීම, කොහු, පොල් වලවල්, වෙල් වැඩ, අගල්, මේවා තමයි තිබ්බ කුලී වැඩ.

නමුත් අද භෞතිකව ගම ඊට වඩා වෙනස්. හැමෝටම ගෙයක් දොරක් වාහනයක් තියෙනවා. සත්තු මරන්න කවුරුත් නැහැ. මටම පුදුම හිතුනා අපේ වත්තේ වලේ මෑතකදි ඉදන් ඉන්න ඉබ්බො රංචුව තාවම ඉන්නවා අවුරුදු දෙක තුනක් වෙලත්. දැන් කොල්ලො කවුරුත් තලගොයි හොයන්න හුඹස් පෙරලන්නේ නැහැ. දැන් කොල්ලො හන්දියේ බංකුවට වෙලා බූරු කුට්ටමයි බීඩියයි තියාගෙන කාලෙ කකා ඉන්නේ නැහැ. හොර පොල් නෙමෙයි ඇත්තටම පොල් ගෙඩියක් කඩාගන්න ගහකට යන්න දන්න මනුස්සයෙක් හොයාගන්නත් අමාරුයි. හැබැයි ඉතින් දැන් ගහ කොල පරිසරයත් ටිකක් වෙනස් වෙලා. ඒ දවස්වලා නාන ලිදක් කවදාවත් හිදෙන්නේ නැහැ. අපේ වත්තෙම නාන ලිං දෙකයි. පං වලයි. ගල්ලැහැ වලයි. කොහිල වලයි - බොන ලිදයි , වලවල්ම ගොඩයි. වටේ ගෙවල් වලත් ගොඩක නාන ලිං බොන ලිං කියල ලිං දෙවර්ගයක් තිබ්බ. ඩෙංගු කියල අහලවත් නැහැ. නිල් පාට වතුර. අපේ ලිදේ වතුර ප්‍රසිද්ද හීතල නිසා. ඒක ලග කුඹුක් ගහක් තියෙනවා. දැන්නම් කුඹුක් ගහ විතරයි තියෙන්නේ. ඒකත් අපි ලගින් යනකොඩ අතු ටික අකුලගෙන හැංගෙන්න වගේ හදනව - වැඩේ දෙයිද කියල බයට. ලිං තාම තියෙනවා. වතුර නැහැ. දන්ඩි හුංගො ලුල්ලු ආදෝ මගුරො තෙලියො කාවයියො කනයි ලිංවල ඇලවල් වල එදා පිරිලා. අද උනුත් දකින්න නැහැ. යන්තන් අවුවක් වැටුන ගමන් වතුර ඔක්කොම හිදෙනවා. එදා කොල්ලො වලකට පිහි දාලා හොලෝපුවාම මාලු කැපිලා උඩ පාවෙනවා. අද ඉතින් මොන මාලුද ?

අනිත් දරුණුම දේ තමයි එදා ගම්මු ගොඩක් නූගත්. හැගීමට තමයි මුල් තැන. හැමෝම පොර ටෝක්ස්. පොඩි දෙයක් වුනත් අන්තිමට ඉවර වෙන්නේ පිහියක් ඇගට බස්සල නැත්තම් උදැල්ලක් බෙල්ලට පාත් කරලා. අපේ ගම්මානෙ මායිම තිබ්බේ මා ඔයට. ඒ හරිය වීශාල වතුයි කැලෑයි විතරයි. ඒවගෙත් මිනිස්සු හරිම අඩුයි. පාලමක් තිබ්බෙ නැහැ ඒ කාලේ. පොලිසියක් ආවෙ ගියෙ නැහැ. මේවගේ අහීමානවල ඉතිං කැලෑ නීතිය තමා ගොඩක් රජ කලේ. ඉතිං අවුරුදු කාලේ වෙනකට සයිකල් රේස් එකෙනුත්, අවුරුදු උත්සවයෙනුත්, බූරු පොලෙනුත් එන අනිවාර්‍ය ප්‍රවෘත්තියක් තමා අහවලා අහවලාට පිහියෙන් ඇනලා කියන නිව්ස් එක. අද අපිට දිනපතා අහන්න ලැබෙන්න ඇක්සිඩන්ට් ගැනනේ. ඇත්තටම මේ ඔක්කොම එදත් තිබ්බේ දුප්පත් යමක් කමක් අඩු මිනිස්සු අතර තමා. යමක් කමක් තිබ්බ මිනිහා කාලා බීලා ඕප දූපයක් කාරිය අහලා වයර්ලස් එකේ සින්දු කෑල්ලක් අහගෙන උදේට පිරිත්ටිකකුත් අහල හවස කඩපොලේදී මිනිහෙක්ට ගරහල ඕපදූපයක් හොයාගෙන පාඩුවෙ හිටියා.